m prash

2019/12/11 – ලංකාදීප

වසර 2020 අලූත් යුගයකට ඇතුළුවන මුවදොරකි. එය තාක්ෂණික යුගයක් වනු ඇති අතර අප අද ගතකරමින් සිටින ජීවිතය සම්පූර්ණයෙන් අලූත් මුහුණුවරක් ගනු ඇතැයි විශ්වාස කෙරේ. ජංගම දුරකතනය හා අන්තර් ජාලය හදුන්වා දීමෙන් පසු ගත වූ දශක දෙකක පමණ කාලය එයට හොද සාක්ෂියකි.

බුදු දහම තොරතුරු තාක්ෂණ යුගයට ගැලපෙන ධර්මය වශයෙන් සැලකේ. බුදු රජාණන් වහන්සේ ගේ දේශනාව අකාලිකය.  ඕනෑම යුගයකට ගැලපෙන අතර අන්තවාදයෙන් බැහැරය. මැදුම් පිලිවෙතෙහි අගය ජීවිතයකට කියා දෙයි. බුද්ධ දර්ශනයට සමීපවීම නූතන සමාජ ස්වභාවය හමුවේ ලබාගත හැකි යහපත්ම පියවර වී තිබේ. ලෝකයේ නොයෙක් රටවලින් බුදු දහම කෙරෙහි පැහැදී එය වැළද ගන්නා ජන කොටස් ගැන තොරතුරු වාර්තා වෙයි. මෙවැනි පසුබිමක දී ජාත්‍යන්තරය වෙත ශ‍්‍රී ලංකාවෙන් ලබා දිය හැකි වැදගත්ම දායාදය වශයෙන් බුදු දහම පෝෂණය කිරීම ඉතාම වැදගත්ය.

බුදු දහම ලිඛිතය. එය අන්තර් ජාලයේ ලෝක ව්‍යාප්තව පවතී. බුදු දහම ආරක්ෂා කරන දහම අනුව හැඩගැසී ලෞකික ජීවිතය අත්හරින්නට කැපවූ මහා සංඝරත්නයේ පැවැත්ම ගැන ගැටළු පවතී. බුදු දහම කල්ප කාලාන්තරයක් පවතිනු ඇති බවට විවරණ දී ඇති බව පැවසෙන ශ‍්‍රී ලංකාවේ මහා සංඝරත්නය අතරින් සුළු කොටසක ගේ හැසිරීම සියළු පාර්ශව වලට ප‍්‍රශ්නයක් වී ඇත. දේශපාලනයට අවතීර්ණවීම එයින් ප‍්‍රමුඛය. බුදු රජාණන් වහන්සේ පවා ශද්ධෝදන රජු අමතා දේශනා කළේ ඔබ රාජ්‍ය වංශයේ වන අතර මම බුද්ධවංශයේ බවය. බුද්ධ වංශය සතු අනන්‍ය ඇවතුම් පැවැතුම් පවතින අතර ගිහි සමාජය හා රාජ්‍ය සමග සම්බන්ධතා දුරස්ථය. ශ‍්‍රමණ භාවය සසරින් එතෙරවීමට පමණක් නොව ජනී ජනයාට දුකින් ගැලවී නිවනට ප‍්‍රවේශ වන මග දැක්වීමටය. මෙකී යතාර්ථය අමතක කළ යුතු නැත.

ශාසනික පැවැත්මට අභියෝග එල්ල වූ සෑම අවස්ථාවකම සංගායනා පවත්වා තිබේ. ධර්ම සංගායනා පැවැත්වීම අවශ්‍ය ද යන සාකච්ඡාව මෙහි දී පැන නැගේ. ලිඛිතව, සුරක්ෂිතව ඇති බුද්ධ දේශනාව මිශ‍්‍ර වී නැත. දහම අනුගමනය කරන සහ ජනතාව වෙනුවෙන් දේශනා කරන මහා සංඝරත්නයේ භූමිකාව සංගායනාවකට ලක් කළ යුතුව තිබේ. නූතන තාක්ෂණික යුගයේ දී මහා සංඝරත්නය සතු කාර්යභාරය සමාලෝචනය කිරීමට පුලූල් පදනමක් එයින් සැපයෙනු ඇත. භික්ෂු අධ්‍යාපනය ගැන අවධානය යොමු කළ හැකිය. භික්ෂු ආකල්ප හා සමාජ වගකීම කෙරෙහි අලූතින් හිතන්නට අවස්ථාව ලැබේ. සංඝාධිකරණය පිහිටුවා  දැනට මිශ‍්‍ර වී ඇති ව්‍යුහය ඈත් කරන්නට මග පාදා ගත හැකිය.

අස්ගිරි මල්වතු මහා නායක හිමිපාණන් වහන්සේලා ශික්ෂුන් වහන්සේලා මැතිවරණයට ඉදිරිපත්වීම ඇතුළු විනය උල්ලංඝනය වන පැති ගැන අදහස් දක්වා තිබේ. අමරපුර හා රාමඤ්ඤ යන නිකායයන් එකතු වී ඇති අතර නායක හිමිපාණන් වහන්සේලාගේ ස්ථාවරය ද එයින් බැහැර නැත. ශාසනයට අභියෝග එල්ල වූ අවස්ථාවේ දී පාලකයන්ගේ අනුග‍්‍රහය ඇතිව මහා සංඝරත්නයේ උවමනාව පරිදි කතිකා පවත්වා තිබේ. ඉතිහාසය එයට සාක්ෂි දරයි. ශ‍්‍රී ලංකාව බුදු දහමින් පෝෂිත රටක් වශයෙන් බහුජන හිත සුව පිණිස සංඝ සමාජය යාවත්කාලීන විය යුතු අතර විනය සංගායනාවක් පවත්වා සාසනය තුළ පැන නැගී ඇති ඇතැම් මත, ප‍්‍රතිපත්ති හා අනුගමනය කළ යුතු පිලිවෙත් ගැන සම්පූර්ණ විමර්ශනයක නිරතවීම සුදුසුය. මෙම වර්ෂාවසාන උදුවප් පොහොය දිනය මෙකී විෂයය ගැන අවධානය යොමු කිරීමට සුදුසු මොහොතක් බව පෙන්වා දිය හැකිය.