LOGO

2019 12 04 – ලංකාදීප

රටක් යටත් කරගත් පැරණි පාලකයෝ පරාජිතයන්ගේ වස්තුව බෙදා ගැනීමේ දී බේධ ඇති කරගෙන තිබේ. එය ඉතිහාසය පෙන්වා දෙන වැදගත් කරුණකි. ජයග‍්‍රහණයේ අයිතිය වෙනුවෙන් ද ගැටුම් පැවැති බව ප‍්‍රකාශවේ. ඇත්, අස්, පාබල හමුදාවෝ ජයග‍්‍රහණයට එකම සාධකය තමන් බව උලූප්පා දක්වති. ඉතිහාසය පෙන්වන සාමාන්‍ය ස්වභාවය එයයි. නූතන සමාජ ව්‍යුහය තුළ පවා ජයග‍්‍රහණය තමන්ගේ කරගන්නට සහ පරාජය අනුන්ට පවරන නැඹුරුවක් පවතී. හොද කළමණාකරනයක් ඇති, දියුණු ජන සමාජ පුද්ගල අයිතිය පැත්තකට කරන අතර කණ්ඩායම් හැගීම ශක්තිමත් කරති. එය සාර්ථකත්වයට නිසි මග දක්වයි.

අලූත් ආණ්ඩුව බලයට පත්වීම තුළ අයිතිකාර සංකල්ප මතු වී තිබේ. තමන් වැඩිපුර කැපවූ නිසා තමන්ට වැඩිපුර හිමිවිය යුතුය යන අදහසක් පැන නැගී ඇති බව පෙනේ. එය සුදුසු නැත. ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග‍්‍රහණය හා නැවත බලයට පත් වීම තුළ පවතින විවිධත්වය ආරක්ෂා කරගැනීම අවශ්‍යය. පුද්ගලයන් වශයෙන් තනි තනිව ලැබූ ජයග‍්‍රහණයක් නොවන අතර කණ්ඩායමක් ලැබූ එකකි. එකතුවීම අරමුණු කරගෙන නායකත්වයට අවනත විය යුතුය. ජයග‍්‍රහණය හමුවේ තමන්ට ලැබිය යුතු වරප‍්‍රසාද හෝ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයක වගකීම අරමුණු කරගෙන බලතල හෙට්ටු කිරීම සුදුසු නැත. ජයග‍්‍රාහකයා දෙස ජනතාව බලා සිටින අතර පරාජයේ ආරම්භය ජයග‍්‍රහණය සමරන මොහොතේ සිට ආරම්භ වන බව අමතක කළ යුතු නැත.

මෑත ඉතිහාසය තුළ අප සියළු දෙනා සෑහෙන පාඩම් ඉගෙන ගෙන තිබේ. සුනාමි ව්‍යසනය වැනි ඛේදවාචකයක් හමුවේ බෙදී අර්බුද ඇති කරගත්හ. යුද්ධය අවසන් කිරීමෙන් පසු සාමය තහවුරු කරනවාට වඩා හදිස්සියක් ජයග‍්‍රහණ බෙදා ගැනීමට තිබුණි. යහපාලනය ඇති කරන බව විෂයෙන් දක්වා බලයට පැමිණි පසුගිය ආණ්ඩුව එයට අනෙක් හොදම උදාහරණයකි. ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකම් හා වගකීම් අමතක කරන ලද අතර ඡන්දය ලැබුණේ තමන්ට යැයි කල්පනා කරන තනි ගමන් යන මානසිකත්වයක සිටියහ. එම ආණ්ඩුව පරාජය කර නැවතත් බලයට පත් වන අවස්ථාවේ දී ඉතිහාසය නැවත නැවතත් ප‍්‍රතිනිර්මාණය වන බව සිහිපත් කළ යුතුය. අධෛර්යයට පත්වන්නන් හා කලකිරීමට පත්වන පිරිස ඇතිකරන බේධ මහා විනාශයකට මග පාදනු ඇත. සොලී, කාලිංග මාඝ, පෘතුගීසි, ලන්දේසි හා පසුව ඉංග‍්‍රීසි ජාතිකයන්ට යටත් වූ කාල වකවානුවේ පවා අප අතර තිබුණ බේධ අවසාන තීන්දුව ඉක්මන් කරන ලද බවට සාක්ෂියකි.

පොදු ජනතාව ආණ්ඩුවක් පත්කරන්නේ පක්ෂයේ නායකයන්ට මැති ඇමැති ධුර බෙදා ගැනීමට නොවේ. පිරිසට සංස්ථා සභාපතිකම් හා අධ්‍යක්ෂක මණ්ඩල බෙදා ගැනීමට ද නොවන බව සදහන් කරන්නට අවශ්‍යය. තමන්ට ලැබුණ තරම සසදා කේවල් කිරීම ද සුදුසු නැත. කැපවීමකට පසු ලැබුණ අවස්ථාව තහවුරු කරගැනීමට කණ්ඩායමක් වශයෙන් ක‍්‍රියාත්මකවීම යහපත් පියවරකි. තවත් වැදගත් කාරණයක් තිබේ. සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂා සාක්ෂාත් කළ යුතුව තිබේ. එදිනෙදා ජන ජීවිතයේ දැවෙන ප‍්‍රශ්න වලට උත්තර ලැබිය යුතුය. එක පිරිසක් පැත්තකට කර අලූත් පිරිසක් ලොකු පුටු වල වාඩි කරවීමෙන් ජනතාව සතුටු කළ නොහැකිය. බලය තාවකාලිකය. කරන සේවය සදාකාලිකව අගය කරනු ඇත. යතාර්ථයට මුහුණ දිය යුතු අතර ජන ජීවිතය නගා සිටුවන පියවර වෙනුවෙන් ඉක්මන් තීන්දු ගැනීම වැදගත්ය.

ජනාධිපතිවරණයකින් හා මහ ඡුන්දයකින් පරාජයට පත්ව බලය අත්හරින්නට සිදුවූ පිරිසක් වෙත නැවත බලය පවරන්නට ජනතාව තීරණය කළේය. කලින් කළ වැරදි අමතක නොකරන ලද අතර පාඩමක් ඉගෙන ගෙන අලූත් ගමනකට ලැබුණ වරමක් බව කල්පනා කිරීම සුදුසුය. විවිධ මත එකතු කර එක අදහසකට ගොනු විය යුතුය. තාවකාලික වාසි පැත්තකින් තබා දීර්ඝ කාලීන ස්ථාවරත්වයක් වෙනුවෙන් තීන්දු ගැනීම ආණ්ඩුවේ සියළු සාමාජිකයන්ගේ වගකීම බව පෙන්වා දිය යුතුව තිබේ.