LOGO

‍2019/11/27 – ලංකාදීප

ඉන්දියානු ව්‍යාප්තවාදය ජන සමාජය තුළ කුකුසක් ඇති තැනකි. ජනාධිපතිධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු නිල සංචාරය සදහා ඉන්දියාවට පැමිණෙන සේ කරන ලද ඇරයුම පිලිගෙන තිබේ. ශ‍්‍රී ලංකාවට සමීප, දීර්ඝ කාලයක් තිස්සේ නොබිදුන සම්බන්ධතාවයක සිටින දෙරට අතර මිත‍්‍රශීලීබව තර කරනු සදහා මෙය හොද අවස්ථාවකි. පසුගිය ජනාධිපතිවරණයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අති විශිෂ්ඨ ජයක් අත් පත් කරගත් අතර තද ආගමික හා ජාතික පදනමක් ඔහුගේ ජයග‍්‍රහණයට හේතු වූ බව ප‍්‍රකාශ වී තිබේ. ජනාධිපති ගෝඨාභය ගේ ජයග‍්‍රහණයේ මාවත උදෙසා සිංහල බෞද්ධ අනන්‍යතාව බලපෑමක් වූ බව නොරහසකි. රට ගැන හිතන, ජාතිකත්ව අභිමානයකින් යුතු අනන්‍ය ලක්ෂණ සහිත ජන නායකයන් දෙපොලකගේ මුණ ගැසීම විශේෂ අවස්ථාවකි. ඉන්දීය ව්‍යාප්තවාදය වෙනුවට දෙරට අතර තිබිය යුතු අලූත් දර්ශනයකට මග පාදාගැනීම  සුදුසුය. ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පැවැත්ම මෙහිලා උපයෝගී කරගතත හැකිය.

බුදු දහම ධර්මාශෝක අධිරාජ්‍යයා ගෙන් ලංකාවට ලැබුණ උසස්ම තිළිණයකි. වසර දහස් ගණනක් මෙරට ජන සමාජය, සංස්කෘතිය හා පැවැත්ම පෝෂණය කර තිබේ. ධර්මාශෝක රජතුමා සිය මෙහෙවර ආරම්භ කරන්නේ අධිරාජ්‍ය ව්‍යාප්ත කරන යුද මෙහෙවර කූට ප‍්‍රාප්තියකින් අනතුරුවය. භූමිය අත්පත් කරගත් අශෝක අධිරාජ්‍යයා එය නොසෑහෙන බව වටහා ගත් අතර බුදු දහම අවබෝධ කරගෙන ජන හිත සුවපිණිස කැපවන නිසි මගට අවතීර්ණ විය. රණ ශූරත්වයට අධිපති වූ අශෝක රජු සානුකම්පිතත්වයේ අධිරාජ්‍යයා බවට පත්වූ අතර ගිලනුන්ට බෙහෙත්, සිරගතවූවන්ට පහසුකම්, දුප්පතුන්ට සහන, වයෝවෘද්ධයන්ට ජීවත්වන දීමනා සහ මහා මාර්ගයේ ගිමන්හල් ඇති කරන ලද අතර සියළු සතුන් සදහා රෝහල් ද පිහිටුවන ලද බව දැක්වෙයි. දෙමාපියන්ට සලකන්න, දරුවන්ට සෙනෙහස දක්වන්න පමණක් නොව මෙහෙකරුවන්ට කරුණාවන්ත වන්නැයි ද දැක්වීය. යුද්ධයෙන් හෝ ගැටුම් වලින්  ප‍්‍රශ්න විසදන්නට නොහැකි අතර සියළු අසල්වැසි රටවලට යුද බියෙන් අත්මිදෙන පණිවුඩයට ද නිකත් කළේය.

ධර්මාශෝක අධිරාජ්‍යයා බුදු දහම දක්වන ප‍්‍රතිපදාව රාජ්‍ය පාලනයට උපයෝගී කරගත් අතර රටවැසියෝ සිය දරුවන් සේ සලකා තීරණ ගත් බව සදහන්ය. ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පාලන කාලය ඉන්දියාවේ ස්වර්ණමය යුගය අතරින් විශිෂ්ඨ එකක් වශයෙන් සැලකෙන අතර ඉන්දියාව සාමය හා සමෘද්ධියේ දේශය බවට පත් වූ බව ඉතිහාසය පෙන්වා දෙයි. ධර්මාශෝක රජතුමා සිය සසුන්ගත වූ දියණිය හා පුතු දේවානම්පියතිස්ස රජ සමයේ ලංකාවට එවන්නේ බුදු දහම තමන්ට ලබා දිය හැකි උසස්ම පරිත්‍යාගය වශයෙන් සලකමින් බව නිසැකය.

ශ‍්‍රී ලංකාව සමාජ, දේශපාලන හා ආර්ථික වශයෙන් අලූත් යුගයකට අවතීර්ණ වෙමින් තිබේ. ජාත්‍යන්තරව පවතින තාක්ෂණික පරිසරය අභිමුවෙහි වේගයෙන් දියුණුව අත්පත් කරගන්නා අතර රටට අත්‍යවශ්‍ය ආත්මය නැවත පුනර්ජීවනය කරගත යුතුව ඇත. ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ලබා දී ඇති පණිවුඩය මෙහි දී වැදගත්ය. ජන සමාජය අලූත් අවකාශයක් ඉල්ලා සිටී. ලෝක ප‍්‍රජාව ඉදිරියේ අද්විතීය නායකත්වයක් පමණක් නොව ජනතාව ඉල්ලා සිටින විනය ගරුක ධාර්මික පාලනය එහි දී තිබිය යුතුය. නවීන පාලකයෙකු සතුව තිබිය යුතු ගුණාංග වලින් කොටසක් ධර්මාශෝක චරිතයෙන් උකහා ගත හැකිය. ජාති, ආගම්, දේශපාලන පක්ෂ, කුළ ආදී වශයෙන් බෙදී වෙනස් අදහස් ඇති ව පවතින සංකීර්ණ ශ‍්‍රී ලංකාව නව යුගයකට යොමු කිරීමේ දී බුදු දහම, එය රාජ්‍ය පාලනයට ප‍්‍රායෝගිකව යොදා ගත් ධර්මාශෝක රජු ගැන අලූතින් අධ්‍යයනය කිරීමට ඉන්දීය නිල සංචාරය තවත් ප‍්‍රවේශයක් වනු ඇත.

තවත් පැත්තක් ද ඇති බව අමතක කළ යුතු නැත. පාලකයා පමණක් අලූත් වීම ප‍්‍රමාණවත් නැත. ජනතාවට ද අලූතින් හිතන වගකීමක් තිබේ. සුපුරුදු ගෝත‍්‍රික ලක්ෂ සහිත බෙදීම් තව දුරටත් පවත්වාගෙන යා යුතු නැති අතර අලූත් සමාජ ව්‍යුහයක් වෙනුවෙන් අලූතින් හිතන්නට පවතින ස්වභාවය අවබෝධ කරගන්නට සූදානම් විය යුතුය.