milinda-prashna   2019/11/13 – ලංකාදීප

නායකත්ව ගැන නොයෙක් නිර්වචන තිබේ. දාර්ශනිකයෝ නායකත්ව ලක්ෂණ ගැන විශේෂ අධ්‍යයනය කර, විවිධ අනාවරණ දක්වා ඇත. මානව ශිෂ්ඨාචාරයේ ආරම්භක වකවානුවේ දී ගෝත‍්‍රයකට නායකයෙකු අවශ්‍ය වූයේ ඇයි? ආරක්ෂාව, ආහාර සම්පාදනය හා මග පෙන්වීම අපේක්ෂා කරන්නට ඇත. වර්තමාන යුගයේ නායකයන්ගෙන් අපේක්ෂා කරන ගුණාංග මොනවාද? ජන සමාජයක් සිය නායකයා තෝරා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු පැති කවරේද? මෙකී පැති ගැඹුරින්  සාකච්ඡා කළ යුතුය.

ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා නොබෝදා ප්‍රසිද්ධ සාකච්ඡාවක දී වැදගත් කරුණු ගණනාවක් අනාවරණය කළේය. ඔහු ගේ දියණිය හා සම වයස් තරුණ යුවතියක සමග කරන ලද එම සාකච්ඡාවේ දී ‘‘පිරිසිදු මිනිසුන් නැති අතර හැම දෙයක්ම දන්නා දක්ෂ අය කොහොමටවත් නැති බව’’ ඔබාමා පැහැදිලිව කියා සිිටියේය. ‘‘යහපත් දේ කරන අය අතර නරක ගුණාංග තිබිය හැකි අතර විරුද්ධවාදීන් තුළ පවා එකග විය හැකි ගුණාංග පවතින’’ බව ද සදහන් කළේය. ‘‘අනෙක් කෙනාගේ වරද පමණක් සොයා බැලීම නූතන යුගයේ අලූත් තරුණ පරම්පරාවේ දුබලතාවයක්’’ බව හෙතෙම මෙම සාකච්ඡාවේ දී පෙන්වා දුන්නේය. ‘‘අනුන්ගේ වරද දැක මම දක්ෂයි කියා කල්පනා කිරීම සුදුසු නැති’’ බව දක්වන බැරක් ඔබාමා ‘‘තමන් ගැනම තෘප්තියෙන් ක‍්‍රියා කිරීමෙන් පමණක් නායකයෙකුට සමාජයේ වෙනසක් කරන්නට පුලූවන්කමක් නැති බව’’ මෙම සාකච්ඡාවේ දී තව දුරටත් අවධාරණය කළේය. ‘‘අනුන්ට ගල් ගැසීමෙන් පමණක් නායකයෙකුට දිග ගමනක් නැති අතර එය සමාජ මෙහෙවරක් නොවන බව’’ ද දක්වා ඇත. දීර්ඝ සාකච්ඡාවක් වන මෙහි ඇතුලත් කරුණු අන්තර් ජාලයෙන් කියැවූ සෑහෙන පිරිසක් එයට ප‍්‍රතිවාර දක්වා තිබේ. එක්තරා ඇමරිකානු පුරවැසියෙකු ලියා ඇති සටහනක් ඉතා වැදගත්ය. ‘‘ඔබාමා මහත්මයාට කිසිම වතාවක ඡන්දය පාවිච්චි නොකෙළෙමි. දේශපාලන ප‍්‍රතිවාදීත්වය තුළින් බලාපොරොත්තු සුන්නොකරන පසුබිමක් තුළ ඔහු නැවතත් අපේක්ෂා කරන බව’’ දක්වා තිබේ.

නායකයන් හදුනාගැනීම තුළ එවැනි ප‍්‍රශ්නයක් ඇත. තීරණයක් ගැනීමෙන් පසු පශ්චාත්තාපය ඇතිවෙයි. තමන් හොදම තීන්දුව නොගත් බව දැනෙන්නට පටන් ගනී. අද යුගයේ ලෝකයේ සෑම රටකම අර්බුද තිබේ. අවාසනාවන්ත ගැටුම් හටගෙන ඇත. සමහර සිද්ධි වලට හේතු වූ පසුබිම පවා සොයා ගත නොහැකිය. ජනතාව නැගී සිටින අතර විරෝධතා පැන නගියි. අත්දැකීම් සහිත දාර්ශනික නායකයෙකු වශයෙන් ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ස්වභාවය අවබෝධ කරගෙන තිබේ. නායකත්වය තුළ තිබිය යුතු සංවේදීභාවය දැනෙන්නේ පසු කාලයකය.

ශ‍්‍රී ලාංකේය ජන සමාජය වැරදි දකින්නට සමත්ය. අනුන් ගේ හොදක් දකින්නේ නැති අතර මමත්වය ඉතා බලවත්ව තිබේ. පවතින දුබලතා වටහා ගැනීම වැදගත්ය. නායකයෝ යනු මෙකී ජන සමාජයේ කොටසකි. ජන නායකයන්ට පමණක් නොව පොදු ජනතාවට ද බලවත් වගකීමක් තිබේ. පරිනත ද්‍රෘෂ්ටියකින් ක‍්‍රියා කළ යුතුව ඇත. නිදහස ලබා ගැනීමෙන් පසු ගෙවී ගිය දශක හතක කාලය තුළ ශී‍්‍ර ලංකාවේ පැවැත්ම ගැන අවධානය යොමු කළ යුතු අතර මෙතෙක් අනුගමනය කළේ අනුන්ට ‘‘ගල් ගැසීම පමණක්’’ බව කල්පනා කිරීම සුදුසුය. අප සියළු දෙනා අතර ‘‘නරක පමණක් නොව යහපත් ලක්ෂණ’’ ද තිබේ. නරක අතහැර හොද පැත්ත ප‍්‍රයෝජනයට ගෙන පැවැත්ම සම්බන්ධයෙන් පරිවර්තනයකට අවස්ථාව ලබා ගැනීම සුදුසුය.