LOGO

2019/10/16 – ලංකාදීප

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාවේ වර්තමාන ස්වරූපය ගැන පොදු ජනතාවට ප‍්‍රශ්න තිබේ. ජනතාවගේ කැමැත්ත තේරුම් ගැනීම ගැන ප‍්‍රශ්නයකි. සාමාන්‍යයෙන් ප‍්‍රවෘත්ති විකාශයකදී රටක සිදුවන වැදගත් සිද්ධි ආවරණය විය යුතුය. පුවත් පත් බලන්නේ, ගුවන් විදුලිය අහන්නේ හෝ රූපවාහිනිය නරඹන්නේ තොරතුරු දැන ගැනීමේ අභිලාශයෙනි. නමුත් පොදුවේ පළමුවත්, දෙවැනුවත් හා තෙවැනුවත් දේශපාලනය ඉස්මතු වී තිබේ. ක‍්‍රීඩා ප‍්‍රවෘත්තියක පවා යටි පෙල දේශපාලනිකය.

ජනාධිපතිවරණය ගැන රට තුළ සෑහෙන උනන්දුවක් තිබේ. දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනයට පසු පවත්වන පළමු ජනාධිපතිවරණයෙහි වාර්තාකරණයට ජනතාව තුළ උනන්දුවක් ඇත. දේශපාලන ප‍්‍රකාශ, පුවත් පත් සාකච්ඡා හා පක්ෂ වල බලය පෙන්වන සිද්ධි පමණක් සුදුසු නැත. පාක්ෂිකයෝ තමන්ගේ නායක කාරකාදීන්ගේ තොරතුරු දැන ගැනීමට ලැදිය. එහෙත් සමබරව හිතන, නිර්දේශපාලනික ජන කොටසක් ද මෙරට සිටී. ඔවුහු දේශපාලන අන්තවාදීහු නොවෙති. මැදහත්ව හිතන, දේශපාලනයේ දී කියන පරිදි පාවෙන ඡන්ද දායකයන් පිරිසකි. රට තුළ සිදුවන සංවර්ධනය, ආණ්ඩුවේ තීරණ, ලෝකයේ සිදුවන සිද්ධි පමණක් නොව අභවකාශයේ පැන නැගෙන වෙනස්කම් ගැන ද දැන ගැනීමට ඔවුන්ට උවමනාවක් ඇත. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය එකී උවමනාව මග හරින විට සමාජ මාධ්‍ය වශයෙන් අලූතින් විවෘත වන දොරටුව වෙත යොමුවන බව තේරුම්ගත යුතුය. නූතන මාධ්‍ය භාවිතාව අනුව සමාජ මාධ්‍යයේ අවිධිමත්, වගකීම් රහිත වාර්තාකරණය දෝෂාරෝපනයට ලක් කරන විද්වත්හු එයට හේතු වූ කරුණ විමර්ශණය කෙරෙහි අවධානය යොමු නොකිරීම බලවත් ගැටළුවකි.

පසුගිය කාලයේ ඇමරිකාවේ කරන ලද සමීක්ෂණයකට අනුව තරුණ පෙළ රූපවාහිනයෙන් ඈත්වෙමින් සිටී. 2012 සිට 2018 වන විට තරුණ වයසේ පිරිස රූපවාහිනිය නැරඹීමට යොදවන කාලය සියයට හතලිස් හතරකින් පහත වැටී ඇත. අනෙක තාක්ෂණය භාවිතා කරන පාඨකයෝ ප‍්‍රවෘත්තිය තෝරා ගනිති. ශ‍්‍රී ලංකාවේ පවා තමන්ට අවශ්‍ය අවස්ථාවක පුවත් පත් කියවන, රූපවාහිනිය නරඹන හැකියාව ලැබී තිබේ. තමන්ගේ අත ඇති දුරස්ථ පාලකයෙන් තොරතුර පමණක් දැනගෙන දැන්වීම් ඇතුළු තමන් පි‍්‍රය නොකරන දේ පෙරා ගැනීමට හැකියාව ඇත. ජනතාව දැන ගැනීමට අවශ්‍ය තොරතුර නොලැබෙන මාධ්‍ය ප‍්‍රතික්ෂේප කරන අතර තමන් කැමැති විෂය ැන සොයන්නට අන්තර් ජාලයෙහි සැරිසරන පිරිස වර්ධනය වී තිබේ. විකාශය කරන තොරතුර පමණක් නොව එම තොරතුර නිකුත්කර තමන්ට අවශ්‍ය පරිදි රාමුව සකස් වී ඇතැයි උපකල්පනය කරන පිරිස ද මෙම අලූත් රාමුව ගැන ඉතාමත් පුලූල් අවධානයක් යොමු කළ යුතුය.

රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් හෝ පුවත් පතකින් තොරතුරක් පළ කිරීමෙන් හො`දම ආවරණයක් ලැබෙන අතර එය ඉතාම සතුටු විය යුතු තත්ත්වයක් නොවේ. තමන්ට පමණක් තෘප්තිමත් විය හැකි මාධ්‍යකරණයකි. ප‍්‍රධාන මාධ්‍යයෙහි වාර්තාකරණයට හසු නොවන අවකාශය තුළ සිටින මධ්‍යස්ථ ප‍්‍රජාවක් අප අභිමුවෙහි සිටී. විවිධ හේතු මත විශේෂයෙන් තමන්ට දැනගත යුතු දේ නොලැබෙන වාර්තාකරණය තුළ මෙම පිරිස වඩ වඩාත් විශාල වෙමින් තිබේ. ප‍්‍රධාන ධාරාවට එපිටින් සිටින පිරිස ගැන අවබෝධයක් ඇති කරගැනීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්, ජන නායකයන් පමණක් නොව මාධ්‍ය ප‍්‍රධානීන්ට ද වැදගත්ය. විද්‍යාර්ථීහු මෙම පැති ගැන පර්යේෂණ කළ යුතුය. අලූත් දැනම සමාජ ගත කළ යුතු අතර ජනතාවට දැනගත යුතු දේ හා ජනතාවට බලහත්කාරයෙන් අනාවරණය කරන දේ අතර ප‍්‍රශස්ථ සමබර බවක් අවශ්‍යය.