LOGO

 

2019/10/09 – ලංකාදීප

අධිකරණයේ ඇප තැබීමට තාක්ෂණික දායකත්වය

අධිකරණ ක‍්‍රියාවලිය සංකීර්ණ එකකි. චූදිත පුද්ගලයා ස්වකීය නිවැරදි භාවය ඔප්පු කළ යුතුය. සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු නඩු කටයුතු අවසන් වන තෙක් ඇපයකට යටත්ය. නියමිත නඩුවාරයේ දී අධිකරණයට ඉදිරිපත් වන විශ්වාසය ඇපයකින් සහතික කෙරේ. ශරීර ඇප එක ක‍්‍රමයකි. රජයේ සේවකයෙකු වන පිලිගත් පුරවැසියෙකුට පුද්ගලයෙකු වෙනුවෙන් ශරීර ඇප නියම කළ විට පෙනී සිටිය හැකිය. පුද්ගල ඇප වෙනුවට මුදල් ඇප නියම කරන අවස්ථා ද ඇත. නීතියට අනුව නියම කරන ඇප මුදලක් අධිකරණයට මුදලින් ගෙවන අතර එය පුද්ගල ඇපයට සමානය. ඇප කොන්දේසි උල්ලංඝනය කළහොත් ඇපකරුට එරෙහිව වරෙන්තු නියෝග නිකුත් කිරීමට හෝ ඇප මුදල් රාජසන්තක කිරීමට අධිකරණයට ප‍්‍රතිපාදන ඇත.

ඉන්දියානා යනුවෙන් උතුරු ඇමරිකානු ජනපදයක් තිබේ. ඇප කොන්දේසි වෙනුවට නූතන තාක්ෂණය භාවිතා කරන තීරණයක් ගෙන ඇත. ඉන්දියානා ජනපදයේ අධිකරණය එකග වී ඇති අන්දමට ඇප නියම වන පුද්ගලයාට තම වියදමින් පාදයේ වලලූ කර ප‍්‍රදේශයේ වලල්ලක් පැළදගැනීමට සිදුවේ. එම උපකරණය පැළද සිටින අය ගැවසෙන තැන සොයා ගත හැකිය. ජී.පී.එස්. තාක්ෂණය එයට භාවිතා කෙරේ. පරිගණක පද්ධතියකට අනුව ඇප වලල්ල පැළදගත් අය කොන්දේසි ප‍්‍රකාරව කටයුතු කරනවා දැයි නිරීක්ෂණය කළ හැකිය. එම වලල්ලකට ගෙවිය යුතු මිලක් තිබේ. ඉන්දියානා ප‍්‍රාන්තයේ තොරතුරු වලට අනුව මෙවලම පැළදගෙන ඇප ඉල්ලන පුද්ගලයා දවසකට ඇමරිකානු ඩොලර් දහ තුනක මුදලක් ගෙවිය යුතුය. පළමු වතාවට බලගැන්වීම සදහා ඩොලර් පනහක අය කිරීමක් ද එයට ඇතුලත්ය. අනුන්ගේ ශරීර ඇප හෝ විශාල මුදලක් ඇපය වශයෙන් තැන්පත් කළ යුතු නැති මෙම ක‍්‍රමය අනුව සුළු වැරදි වලට ඇප නියම වන අවස්ථා වල දී පහසුවක් වී තිබේ.

මෑත කාලය තුළ අධිකරණය නියම කරන ඇප කොන්දේසි දේශපාලන හා නීති විශාරදයන්ගේ බලවත් විවේචනයට ලක් විය. ඇප මුදල පවා ගෙවා ගත නොහැකිව සිරගත වන සුළු වැරදි කළ පිරිස ක‍්‍රමයෙන් ඉහළ යෑම එයට හේතුවකි. මෙම පිරිස බරපතල වැරදි කළ අය නොවේ. අනෙක ඇප වෙනුවෙන් මුදල් සොයා ගැනීමට පවා අපොහොසත් දිළිදු පිරිසකි. නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඞ් ගත කෙරෙන අතර එය බන්ධනාගාරයේ තදබදය වැඩි කරන හේතුවක් වී තිබේ. අනෙක බන්ධනාගතව ඇති පිරිස නඩත්තු කිරීමට නිතිපතා වියදම් කළ යුතු පිරිවැය ඉහළ ගොස් ඇත. වරදකරු ග‍්‍රහණය කරගෙන, නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ දීම අලූත් පිලිවෙත බව ඉන්දියානා ජනපදයේ තීරණය දක්වයි.

ශ‍්‍රී ලංකාවේ බන්ධනාගාර අධික තදබදයකය. වරදකරුවන් පමණක් නොව සැකකරුවෝ ද එහි සිටිති. ඇප නියම කළ නමුත් කොන්දේසි සපුරාගත නොහැකි පිරිස ද සෑහෙන කොටසක් බව එහි වාර්තා දක්වයි. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය අත්අඩංගුවට ගැනීමෙන් පසු රිමාන්ඞ් කිරීම ද සාමාන්‍යයෙන් සිදුවෙයි. මෙම සියළු දේ තිබිය දී තම ප‍්‍රතිවාදීන්ට ජම්පර් ඇන්දවීමට මානබලන අවස්ථා තිබේ. ජම්පර් ඇන්දවීම වෙනුවට ලෝකයේ නොයෙක් තැන් වලින් වාර්තා වන අලූත් දේ යුක්තිය පසිදලීමේ ක‍්‍රියාවලියට එකතු කර ගැනීම සුදුසුය.

මෙරට අධිකරණ පද්ධතියේ් පවතින ගැටළු තාක්ෂණික ගැටළු නිසා යුක්තිය පසිදළීමේ කාර්ය ප‍්‍රමාදවෙයි. වරදකරු දඩුවම් විදින කාලයට වඩා රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටින කාලය වැඩිය. වලල්ලට ගෙවිමට මුදල් නැති ඉතාම අසරණ පිරිසට ආධාර කරන ස්වේච්ඡුා සංවිධාන පවා ඉන්දියානා ප‍්‍රදේශයේ බිහි වී තිබේ. තාක්ෂණයෙන් සොයා ගත හැකි හෙයින් සුළු මුදලක් ගෙවා නිදහසේ කටයුතු කරන්නට ඉඩ දීම වරදක් නොවන  බව හිතන තරමට දියුණු සමාජයක ආකල්ප උසස්ය. අධිකරණයේ ප‍්‍රමාදය නිසා විදින දඩුවම ගැන හිතන්නට ද මෙම සිද්ධිය ප‍්‍රයෝජනයට ගත හැකිය.