LOGO

 

2019/08/28 – ලංකාදීප

ස්වාධීනත්වය පතා හොංකොං නගරයේ දිගින් දිගටම විරෝධතා ඇවිලෙමින් තිබේ. පසුගිය දා ගුවන් ගමන් නතර කෙරිණ. හොංකොං වැසියෝ චීනය සමග කරන අරගලයට ප‍්‍රකට සටන් ශූරයෙකු වූ බෲස් ලී ගේ දර්ශනය එකතු වී ඇති බව ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනය පෙන්වා දී ඇත. අයිතිවාසිකම් උදෙසා කරගෙන යන දැවැන්ත අරගල තුළින් මතුවන දෘෂ්ඨිවාදය හදුනා ගැනීමට මෙය එක්තරා අවස්ථාවකි.

බෲස් ලී ට අනුව වතුර මෙන් හැසිරිය යුතුය. කෝප්පයකට දමන වතර ස්වල්පයක හැඩය කෝප්පයට සමානය. බෝතලයකට හෝ පිඟානකට දැමුවහොත් එම භාජන වල හැඩය ගනී. පාලකයන් සමග කරන සටනේ දී අනුගමනය කරන උපක‍්‍රම අවස්ථාවෝචිත විය යුතු බව හොංකොං වැසියෝ අනාවරණය කර ඇති බව ඇම්නෙස්ටි සංවිධානය නිකුත් කරන පණිවුඩය අවධාරණය කරයි. ‘‘අයිස් වගේ ශක්තිමත් වෙන්න. වතුර වගේ ගලා යන්න. පිණි මෙන් එකතු වෙන්න. මීදුම වගේ පහව යන්න’’ සටන්කාමී බෲස් ලී කියා තිබේ. හොංකොං ප‍්‍රජාව විශේෂයෙන් සටන්කාමී තරුණයෝ අයිස් මෙන් ශක්තිමත් අතර නගරයේ තැනින් තැන ගලා යමින් නොනවතින අරගලයකය. සමාජ මාධ්‍ය බහුලව භාවිතා කරන මෙම විරෝධතාකරුවෝ නොදන්නා ස්ථානයක හදිසියේ එකතු වෙති. පිණි වැටෙන සේ එකා දෙන්නා පැමිණ ජල දහරාවක් සේ එකතු වී අයිස් කැටයක් සේ ශක්තිමත්ව ගැටෙති. හොංකොං ආරක්ෂක අංශ විසුරුවා හරින්නට ප‍්‍රහාර එල්ල වන මොහොතේ මීදුමක් සේ අතුරුදහන් වෙති. ඉහළින් අණ ලැබී, ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරක බල ඇණි පෙරට එන විට එම ස්ථානයේ විරෝධතාවයක් නැත. සියල්ලෝ ආරක්ෂිතව පලාගොස් තිබේ.

නූතන, සංවිධානාත්මක ජනතා විරෝධතා පැන නැගිය හැකි ආකාරය ගැන හොංකොං නගරයෙන් කදිම පණිවුඩයක් නිකුත් වී ඇති බව පෙනේ. මෑත ඉතිහාසයේ අරාබිය පුරා පැතිරුණ අරාබි වසන්තය හා සමාන තත්ත්වයක් හොංකොං හි පවතින බව ද ඇතැම් විචාරකයන්ගේ මතයයි. ප‍්‍රසිද්ධියේ සංවිධානය වන බවක් සොයා ගත නොහැකි අතර විරෝධතාකරුවෝ අතර නායකත්වයක් ද විද්‍යමාන නොවේ. අරමුණ වෙනුවෙන් තදින් පෙනී සිටින ශක්තිමත් කණ්ඩායමක් පමණක් අවිධිමත්ව නොයෙක් තැන අරගල ඇති කරයි. සමාජ මාධ්‍ය භාවිතා කර බලවේගය සංවිධානය වන අතර මර්දනය උදෙසා පාලකයන්ට ගත හැකි පියවර සීමිත වී තිබේ.

හොංකොං දුපත අවුරුදු එකසිය පනහක් බි‍්‍රතාන්‍යයට යටත්  විජිතයක්ව තිබුණි. අවසාන අනූ නම අවුරුද්ද පැවතියේ  දීර්ගකාලීන බදු ගිවිසුමක් අනූවය. බදු කාලය අවසන්වීමෙන් පසු හොංකොං හි අයිතිය ගැන දීර්ඝ විවාදයක් තිබුණි. පසුව 1984 වසරේ දී හොංකොං දූපත සම්පූර්ණයෙන්ම චීනයට භාරදෙන එකඟතාවයටක් ඇති විය. ඉතා දියුණු වෙළ`ද මධ්‍යස්ථානයක් හා නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් වූ හොංකොං වැසියෝ සිය අනාගත  පැවැත්ම ගැන මෙහි දී ප‍්‍රශ්න කරන්නට පටන් ගත්හ. අද වන විට හොංකොං දූපත චීනයට අයත්ය. එක රටක් ක‍්‍රම දෙකක් යනුවෙන් හැඳීන්වෙයි. හොංකොං හි වැසියෝ තමන්ගේ ඉරණම ප‍්‍රශ්න කරමින් සිටින අතර තවදුරටත් බෙයිජිං නීති වලට අවනත වෙන්නට සූදානම් නැත. ඉතා දීර්ඝ කාලයක් යටත්ව සිටි සහ පසුව අනූ නම අවුරුදු ගිවිසුමකින් තවත් රටකට පවරා දුන් ජන කොටසකට අනන්‍යතාවය ගැන ප‍්‍රශ්නයක් තිබේ. තමන්ගේ අනාගතය කුමක්ද? තරුණ හොංකොං වැසියෝ ප‍්‍රශ්න කරති.

හොංකොං දූපතේ උද්ගතව ඇති තත්ත්වය සාධාරණ හා යුක්ති සහගත එකක් යැයි අන්තර් ජාතිකව සාකච්ඡා වන කරුණකි. එහෙත් නිසි විසªදූමක් තවමත් පෙනෙන්නේ නැත. බෲස් ලී ගේ දර්ශනය සටන් වලට එකතු වී ඇති බව ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දී තිබේ. අසාධාරණයට එරෙහිව විරෝධතා පැන නැගෙන අවස්ථා එමටය. මෙරට නොයෙක් අරගල වල ආරම්භය හා ඒවායේ බලවත්කම ගැන අපට අවබෝධයක් තිබේ. සටන්කරුවෝ පමණක් නොව පාලකයෝ ද තරුණන් අරගලටකට එකතු වන අවස්ථාවක උද්ගතවිය හැකි තත්ත්වය ගැන කල්පනාවට ගත යුතුය.