LOGO

2019/08/07 – ලංකාදීප

ඉලෙක්ටි‍්‍රක් වාහන පරිහරණය කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් වන ජාතික සැලැස්මක් ඉන්දියාව ක‍්‍රියාත්මක කරමින් සිටී. පසුගියදා ප‍්‍රකාශයට පත් කළ එරට අයවැය ලේඛනය අනුව ඉන්දියාව විදුලි බලයෙන් ධාවනය වන වාහන නිෂ්පාදනය කරන ප‍්‍රමුඛ ස්ථානයක් බවට පත් කරවන අභිලාශය අනාවරණය කරයි. දැනට ලෝකයේ වැඩිම ඉලෙක්ටි‍්‍රක් එනම් විදුලිය බලයෙන් ධාවනය වන වාහන නිපදවන රට චීනයයි. මගී බස් රථ පවා සම්පූර්ණයෙන් විදුලිය බලයෙන් ධාවනය කරන චීනය සමග තරග කිරීමට ඉන්දියාව සූදානම්ය. ඉන්දියාවේ අරමුණ පිරිසිදු හුස්ම ගත හැකි රටක් ගොඩනැගීමය.

වසර 2017 දී නරේන්ද්‍ර මෝඩි ආණ්ඩුවේ, එවකට ප‍්‍රවාහන අමාත්‍යවරයා එරට රථවාහන ක්ෂේත‍්‍රය ගැන සඳහන් කරමින් වසර 2030 වන විට ඉන්දියාවේ වාහන ඉලෙක්ටි‍්‍රක් විය යුතු බව ප‍්‍රකාශ කළ අතර එම අභියෝගය වෙනුවෙන් තමන් ‘‘බුල්ඩෝසරයක්’’ වන බව අවධාරණය කළේය. පසුගියදා පැවැති ඉන්දියානු මැතිවරණයෙන් පසු ප‍්‍රවාහන ඇතුළු තවත් අමාත්‍යංශ කිහිපයක වගකීම නැවතත් ඔහුට හිමි විය. දැනට ප‍්‍රකාශිත සැලැස්ම අනුව වසර 2023 වන විට ඉන්දියාවේ භාවිතා කරන තී‍්‍රවිලර් සම්පූර්ණයෙන්ම විදුලිය බලයෙන් ධාවනය වන ඒවා බවට පත් කෙරේ. වසර 2025 වන විට යතුරු පැදි සම්පූර්ණයෙන්ම විදුලියෙන් පමණක් ධාවනය විය යුතු අතර එයින් වසර පහකට පසු එනම් වසර 2030 දී එරට භාවිතා වන කාර් සම්පූර්ණයෙන්ම විදුලිය බලයෙන් ධාවනය විය යුතු බව නියම කර තිබේ. මෙම අවශ්‍යතා වෙනුවෙන් විදුලිය නිපදවීම ස`ඳහා ලෝකයේ විශාලතම සූර්ය තාප බලාගාර ඉන්දියාවේ ඉදිවෙන බව අනාවරණය වෙයි.

ඉන්දියාවේ රථ වාහන විදුලිය බලයට හැරවීමේ ප‍්‍රයත්නය තුළ අරමුණු දෙකක් තිබේ. එකක් පරිසරය ආරක්ෂා කිරීමය. අනෙක නැගී එන අලූත් ප‍්‍රවාහන ව්‍යුහය කෙරෙහි ඉක්මනින් අවතීර්ණ වීම බව පෙනේ. චීනය සමග විදුලි වාහන නිෂ්පාදනය සම්බන්ධයෙන් තරඟ කරන හැකියාව නැති බව පැහැදිලිව පෙනෙන නමුත් අධිශ්ඨානයෙන් දෙවැනි වන්නට ඉන්දියාව කිසිසේත් සූදානම් නැති බව අනාවරණය වන තවත් වැදගත් කාරණයකි.

දවස පුරා හොඳින් හිරු එළිය ලැබෙන, සූර්ය බලයෙන් වැඩගැනීමට කිසිම බාධාවක් නැති ශ‍්‍රී ලංකාව විදුලිය වාහන සම්බන්ධයෙන් දක්වන අලස ආකල්ප ප‍්‍රශ්න කළ යුතුව තිබේ. අනාගතයේ  මෙරට වාහන භාවිතා කරන ආකාරය ගැන රටට දර්ශනයක් නැත. ප‍්‍රවාහනයේ නවෝත්පාදනය ගැන ජාතික ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකෙරේ. සමස්ථ ආනයන වියදමෙන් හතරෙන් එකක් වැය කර ඉන්ධන ආනයනය කරන ශ‍්‍රී ලංකාව එයින් සෑහෙන කොටසක් ප‍්‍රවාහනයට වැය කරයි. අධික වාහන තදබදය විශාල වශයෙන් ඉන්ධන පුලූස්සන හේතුවක් වී තිබේ. නව ප‍්‍රවනතා අනුව පරිසරය ද ආර්ථිකය ද කළමනාකරණය කළ හැකි අවස්ථා පෙනි පෙනී අවශ්‍ය තීරණ ගැනීමට පාලකයෝ යුහුසුළු නොවෙති.

ශ‍්‍රී ලංකාව ඛනිජ තෙල් භාවිතයෙන් ගැලවී සූර්ය බලයෙන් විදුලිය නිපදවා ඒවා වාහන ධාවනයට භාවිතා කරන්නට උත්සුක නොවන්නේ ඇයි? යල්පැන ගිය ගතානුගතික රාමුවට කොටුවී සිටින අතර තෙල් ආනයනය, ගබඩා කිරීම හා බෙදාහැරීම විශාල ව්‍යාපාරයකි. ඒවායේ බදු මුදල් රාජ්‍ය ආදායම තර කරයි. විදුලිය ද එයට නොදෙවෙනිය. නොමිලේ සූර්ය තාපයෙන් විදුලිය ලැබී එයින් වාහන ගමනාගමනය සිදුවුවහොත් රාජ්‍ය ආදායම බරපතල වෙනස්කම් සිදුවන අතර දැනට හුරු වී සිටින ක‍්‍රමය පවත්වාගෙන යන්නට බාධා සිදුවෙයි. රට තුළ සාමාන්‍යයෙන් සිදුවන ක‍්‍රියාපටිපාටිය කලත්තා අලූත් දේ මතු කරගැනීමෙන් සෑහෙන පරිවර්තනයක් කළ හැකිය. එය එක්තරා අභියෝගයකි. කර්මාන්ත හා ව්‍යාපාර අංශ වල සිදුකරන කැළඹීමකින් හැර ආර්ථිකයේ පවතින ගතානුගතික රාමුව වෙනස් කළ නොහැකිය.