LOGO

2019/07/10 – ලංකාදීප

සිරිමත් පැවැත්මක තිබුණ රට අසෝබන තැනකට තල්ලූවෙමින් තිබේ. බෙදීම් ඉතාම නරක අන්දමට සමාජය හසුරුවන්නට සූදානම් බව නිරීක්ෂණය කළ හැකිය. අප සියළු දෙනා දකින්නේ අවලස්සන තාරා පැටවුන්ය. ජාතිය, ආගම අනුව කොන් කිරීම සහ සමච්චල් කර පැත්තකට කිරීම ඉතා පහසුවෙන් සිදුවෙයි. අවලස්සන තාරාවා අවසානයේ දී අඟ පසඟ වැඩුණ පසු හංසයෙකු සේ ඉගිල යන්නට බැරි නැත.

මෑත කාලය තුළ මෙරට සිදුවූ සිද්ධි අපේක්ෂිත ඒවා නොවේ. මරාගෙන මැරෙන පාස්කු ඉරිදා ප‍්‍රහාරය ජන සමාජය තැතිගන්වා ඇත. අන්තවාදී කණ්ඩායම් වල සාහසික ක‍්‍රියා අනුමත කළ නොහැක. නමුත් එක අන්තවාදයට උත්තරය තවත් අන්තවාදයක් බෝ කිරීම නොවේ. අන්තවාදයක් ඇති කරමින් සිටින බව පැහැදිලි අතර දැනුවත්ව හෝ නොදැනුවත්වම රට තුළ බේධකාරී තත්ත්වය පාලනය කරගත නොහැකි තරමට දරුණු වී තිබේ. ජනකොටස් අතර පරතරය පුලූල් වී ඇත. පරම්පරාවකට දෙකකට කලින් එකට, එක වාසයකට නතු වී සිටි ශ‍්‍රී ලංකාවේ පුරවැසියෝ සැකයෙන් වෛරයෙන් ජීවත්වන පාර්ශව බවට පත්වෙමින් සිටින බව නිරීක්ෂණය කළ හැකිය. වෙනස්කම් සහිත නමුත් එකම රටක එක පුරවැසියන්යැයි ප‍්‍රකාශ කරන්නට මැලිකමක් දක්වන තරමට එය දුරදිග ගොස් ඇති බව පැහැදිලිව පෙනෙන අතර එය කිසිසේත් අභිමානයට හේතුවක් නොවේ.

එකතු කළ යුතු පැති ව්‍යාකූල කරන සිදුවීම් ගැන අප සියළු දෙනා ගැඹුරු අවධානයක් යොමු කළ යුතුය. ඇතැම් දේශපාලන නායකයන් ඉතා පටු ආකාරයට ක‍්‍රියාකරමින් සිටිති. ආගමික පැතිවලින් පවා එය සිදුවෙයි. අසත්‍ය හා මිත්‍යා කරුණු දේශනා කරන අතර ඒවායෙන් ඇතිකරන මතවාදය බරපතලය. දේශපාලකයන්ගේ දේශන හා ආගමික දේශනා වලින් ඇති කරන පීඩනය යුක්ති ගරුක සමාජයට කිසිසේත් ඔරොත්තු නොදෙන තත්ත්වයකි. දේශපාලනඥයන් ගේ හැසිරීම බලය ආරක්ෂා කරගැනීම හෝ බලය ලබා ගැනීම බව පැහැදිලිය. නමුත් සමාජයට සත්‍ය පෙන්වා දී දර්ශනයකට යොමු කළ යුතු ඇතැම් ආගමික නායකයෝ අරමුණු කරන්නේ කුමක්දැයි පැහැදිලි නැත. මුදු ගුණය ඇතිකර නැවත පෑරුණ සිත් සනහන්නට ඇතැම් වැදගත් දේශපාලනඥයන් හා ආගමික නායකයෝ වෑයම් කරන නමුත් ඒවා බලවත්ව නැගෙන්නේ නැත. ජන මාධ්‍ය පවා එයට එක්තරා අන්දමකට වගකිව යුතුය. ජනමාධ්‍ය අභිබවා නැගී ඇති නූතන සමාජ මාධ්‍ය ප‍්‍රවාහය යහපත් හෙටක් තනන වගකීම තවත් සංකීර්ණ ස්වභාවයකට පත් කර තිබේ.

පවතින තත්ත්වය අනුව ඉදිරි කාලයේ දී මෙකී පැවැත්ම තවත් නරක විය හැකිය. ඉතා තියුණු තරගකාරී මැතිවරණ ගණනාවක් පැවැත්වෙනු ඇති අතර ඒවායේ දී දේශපාලන පක්ෂ අතර මතුවන ගැටුම අන්තවාදී ආකෝෂ පරිභව බහුල පරිසරයක් තනනු නිසැකය. අවසානයේ දී දියුණු, පොහොසත් සමාජයක් අපේක්ෂා කළ හැකිද?

පටු අවිද්‍යාවාදීන් පරාජය කරනු සඳහා සියළු මානුෂික බලවේග එකතු විය යුතුව තිබේ. යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නට අවශ්‍යය. නැවත බිංදුවෙන් ආරම්භ කරනු සඳහා වැඩ පිලිවෙලක් සැකසීම වැදගත්ය. බිදවැටීම්, පරාජයවීම් හා ඛේදවාචක වලින් බහුල අතීතය සහමුලින්ම අමතක කර අලූතින් සියළු දේ ආරම්භ කරන්නට පියවර ගැනීම සුදුසුය. රට ගොඩනගන නායකයෝ වෙනුවට අතීතය අමතක කර බිංදුවෙන් නැවත ගමන ආරම්භ කරන්නට තරම් ශක්තියක් ඇති නායකයෝ අප සොයා ගත යුතුව තිබේ.