LOGO

2019/07/03 – ලංකාදීප

නස්රුදීන් ගේ උපහාසාත්මක කතා ලෝක ප‍්‍රකටය. දහ තුන්වැනි සියවසේ දී ඔහු ජීවත් වූ ප‍්‍රදේශය දැන් තුර්කිය ට අයත්ය. එකල එහි විසූ පාලකයා නගරයට අනවශ්‍ය මිනිසුන් පැමිණීම වලකනු සඳහා නගර ද්වාරයේ එල්ලූම් ගසක් ස්ථාපිත කළේය. මිනිසුන් සත්‍යගරුක විය යුතු බව කියා සිටි හෙතෙම නගරයට ඇතුළුවන අයගෙන් ප‍්‍රශ්න අසා ඔහු හෝ ඇය අසත්‍ය ප‍්‍රකාශ කරන බව ඒත්තු ගියහොත් එල්ලා මරා දමන සේ නියෝග කළේය. ජනතාව දෙන උත්තරය කුමක් නමුත් එල්ලා මරා දැමීමට හේවායෝ නැඹුරු වූහ. එය මහා ව්‍යසනයකි. අධිරාජ්‍යයාට කරුණු කී නමුත් පලක් වූයේ නැත. අන්තිමේ දී පාලකයා කරන අපරාධය නතර කරන්නට නස්රුදීන් ඉදිරිපත් විය. ඔහු නගරයට ඇතුල්වන දොරටුව ඉදිරියේ පෙනී සිටි අතර හේවායෝ නගරයට එන්නේ ඇයි දැයි ප‍්‍රශ්න කළ විට ‘‘ එල්ලිලා මැරෙන්නට ’‘ යැයි උත්තර දුන්නේය. ඒක බොරුවක් හේවායෝ එක හෙලා කියා සිටියේය. ‘‘එහෙනම් එල්ලාපල්ලා’’ නස්රුදීන් කියා ඇත. එහෙම කළොත් නස්රුදීන්ගේ උත්තරය ඇත්තක් බවට පත්වෙයි. පාලකයා එල්ලූම් ගස ඉවත් කරන ලද බව කියැවේ. මෙම කතාව නස්රුදීන් ගේ දක්ෂතාව දක්වයි. පාලකයන්ගේ තීරණ වල අභ්‍යන්තරය පෙන්වයි.

මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. මත් ද්‍රව්‍ය ජාවාරම් වල සිට මිනිස් ජාවාරම් දක්වා පාලනය කරගත නොහැකි තරමට අපරාධ ඉහවහා ගොස් තිබේ. අපරාධ අවම කරනු සඳහා නීතිය උපරිමයෙන් කි‍්‍රයාත්මක කළ යුතු බව අවධානයට ගෙන ඇති බව පෙනේ. මෙම තීරණය ගැන මෙරට පොදු ජනතාව තුළ මිශ‍්‍ර අදහස් ඇති බව නිරීක්ෂණය කළ හැකිය. මහ පොළව නුහුලන අපරාධ වලට මරණ දඩුවම දිය යුතු බව ජනතාව එක හෙලා කියන නමුත් එල්ලා මරන්නේ හැබෑ අපරාධකාරයන්ද? පොදු ජනතාව පාලකයන්ගෙන් ඉල්ලන්නේ යුක්තිය හා සාධාරණත්වයයි. අපරාධකාරයෙකු එල්ලා මැරීම ජනතා අභිලාශ සාක්ෂාත් කිරීමක්ද? රටට යුක්තිය ඉටු වී ඇතැයි සතුටු විය හැකිද?

මරණ දඩුවම ගැන අන්තර් ජාතිකව විශාල විවාද තිබේ. ඇමරිකාවේ ප‍්‍රාන්ත සෑහෙන ප‍්‍රමාණයක මරණ දඩුවම කි‍්‍රයාත්මක වෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉහළින්ම බලපවත්වන ඇමරිකානු නීතිය අනුව මනුෂයාගේ ජීවිත අයිතිය පැහැර ගැනීමට ප‍්‍රතිපාදන සලසා ඇත. අනෙක් පැත්තෙන් චීනය ද මරණ දඩුවම ක‍්‍රියාත්මක කරයි. චීනයේ කොමියුනිස්ට් පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන මුහුණුවරක එකක් නොවේ. එය චීන ක‍්‍රමයයි. සෑහෙන ආර්ථික දියුණුවක් සහිත සිංගප්පූරුව ද කලාතුරකින් අපරාධකරුවෝ මරා දමති. එහෙත් යුරෝපා රටවල් මරණ දඩුවමට එකඟ නැත. මරණ දඩුවම ක‍්‍රියාවට නැගීම උසස් මනුෂ්‍ය ගුණාංග වලට හානියක් බව කල්පනා කරති. ඝාතනය කිරීම වරදක් කරන ලද කෙනෙකුට එය තේරුම් ගෙන නිවැරදි වෙන්නට ඉඩක් දෙන්නේ නැති දරුණු තීරණයක් බව යුරෝපා ප‍්‍රජාවගේ අදහසයයි.

මරණ දඩුවම ක‍්‍රියාවට නැංවිය යුතු බවට රට තුළ සෑහෙන කාලයක් තිස්සේ ආන්දෝලනයක් තිබුණි. නීතිය අනුව අධිකරණයෙන් දෙන තීරණය ජනාධිපතිවරයාගේ අත්සනින් ක‍්‍රියාත්මක කළ යුතුය. එල්ලා මරන්නට නියම වූ සෑහෙන පිරිසක් බන්ධනාගාරයේ අදුරු සිරමැදිරිවල ජීවත්වෙති. මෑත කාලය තුළ කිසිම ජනාධිපතිවරයෙකු මරණ දඩුවම් ලිපි ගොනු වලට අත්සන් තබා නැත. එම ප‍්‍රතිපත්තිය බැහැරව නීතිය අකුරටම ක‍්‍රියාවට නැගීමට ජනාධිපතිවරයා තද අධිශ්ඨානයක සිටින බව පැහැදිලිය. මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති බරපතල විනාශය තුරන් කිරීම අරමුණ වී තිබේ.

මෙරට බලපවත්වන නීතියට අනුව මත් ද්‍රව්‍ය ජාවාරම මරණ දඩුවම නියම කරන වරදකි. දීර්ඝ නඩු විභාගයකට පසු දඩුවම නියමවන්නේ ජාවාරමක මැද පැටැලී ඇති එක පුද්ගලයෙකුටය. හැබෑ ජාවාරම්කරු නිරුපද්‍රිතය. සමහරවිට ලෝක ප‍්‍රකට මහා චරිතයකි. එල්ලූම්ගහට යන මනුෂ්‍යයාට මෙම යතාර්ථය ලෝකය හමුවේ කියා දෙන්නට පුලූවන්කමක් තිබේද? ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණයක දී එයට සමාන්තර  පත‍්‍රිකාවකින් ජනතා ජනමතය විමසා බහුතර අනුමැතියෙන් තීරණයක් ගැනීම සුදුසුය.