2019/06/26 – ලංකාදීපLOGO

රුසියාවේ ප‍්‍රධාන පුවත් පත් තුනක් එකම දවසේ එකම ප‍්‍රධාන සිරස්තලය සහිතව පසුගිය දා නිකුත් විය. එයින් නතර නොවූ අතර ඒකාබද්ධ කතුවැකියක් පළ කළේය. එම විශේෂ සිද්ධිය රුසියානු භාෂාව නොදන්නා ලෝක වාසින් ගේ අවධානයට ලක් කරන්නට බටහිර මාධ්‍ය සමත් විය. මෙම වාර්තාකරණයට බලපෑ හේතුව රුසියාවේ ප‍්‍රකට ගවේශනාත්මක මාධ්‍යවේදියෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමයි. එකී වාර්තාකරණය ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය වහාම දිනා ගත් බව සදහන් කළ යුතුය. වාර්තාකරු අත්අඩංගුවට ගත්තේ ඇයි? එයට හේතු වූ පසුබිම කුමක්ද? අප දැනගත යුතු කාරණය එයයි.

ග්ලව්නොව් නමැති මාධ්‍යවේදියෙකු මෙලෙස මොස්කව් පොලිසියේ අත්අඩංගුවට පත් විය. හෙතෙම වරදක් කරන නැති අහිංසකයෙකු වන නමුත් රුසියන් ආණ්ඩුවේ වැරදි බරපලතල ලෙස විවේචනය කළ අයෙකි. පසුගිය කාලය තුළ එරට පුවත් පත් වල පළ කරන තොරතුරු සම්බන්ධයෙන් රුසියන් පාලනය සෑහෙන උදහසකින් පසුවිය. මාධ්‍ය වාරණය කරන උත්සාහයක නිරත වූ බව ද සඳහන්ය. මෙම සිද්ධියට ලක් වූ මාධ්‍යවේදියා දුෂණ හා ඒවාට වගකිව යුතු ඉහළ නිලධාරීන් ගැන බරපතල අනාවරණ ගණනාවක් කළේය. මොස්කව් පාලනය සලිත කරන්නට ඒවා සමත්විය. ග්ලව්නොව් නිහඩ කරනු සඳහා මත්ද්‍රව්‍ය භාවිතය ගැන චෝදනා එල්ල කළේය. එය නිරපරාදේ එල්ල කරන ලද බව පසුව කරන ලද පරීක්ෂණ වල දී තහවුරු විය.  මාධ්‍යවේදියා මත් ද්‍රව්‍ය භාවිතා කරන අයෙකු බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ වෙබ් අඩවිය පුවත් පළ කර තිබුණ අතර පරික්ෂණ හා මාධ්‍ය ගෙනගිය අරගලය හමුවේ එම තොරුතුරු පවා පසුව මකා දමන්නට එම අමාත්‍යංශය පියවර ගෙන තිබුණි.

ඇත්ත වශයෙන්ම මෙම මාධ්‍යවේදියා පාලකයන්ට හිසරදයක් වූ අතර මොයනම් ක‍්‍රමයකින් හෝ වරදක පටලවා පැත්තකට කරන්නට වෑයම් කරන ලද බව පැහැදිලිය. සිද්ධිය ගැන ආන්දෝලනය බලවත් වන විට චෝදනා අත්හැර ඔහු රුඳවුම්භාරයෙන් නිදහස් කරන්නට පාලකයෝ පියවර ගත්හ. එය කුඩා අත්වැරදීමක් යැයි පොලිස් ප‍්‍රකාශකයා මාධ්‍යවලට කියා සිටියේය. ‘‘වැරදීම් සිදුවිය හැකියි. වැදගත්වන්නේ වරදක් සිදුවූ පසු එය නිවැරදි කිරීමට ගන්නා ක‍්‍රියා මාර්ගයයි’’ යනුවෙන් මොස්කව් බලධාරීහු කියා සිටි අතර එය කිසිසේත් පහසුවෙන් හිස නොනමන රුසියානු පාලකයන් කළ ඉතා විරල ප‍්‍රකාශයක් සේ සැලකේ. සත්‍ය අනාවරණය කිරීමට එරෙහිව එල්ල වන මර්දනය පරාජය කරන්නට ප‍්‍රධාන පුවත් පත් තුනක් එකතු වූ අතර එය නූතන මාධ්‍ය භාවිතාවේ වැදගත් සනිටුහනක් තබා තිබේ.

ලෝකයේ කොතැනක දී පවා පාලකයෝ එක පැත්තකය. ඔවුන්ගේ වැරදි හෙළි කිරීමට ඉඩ නොදේ. විරෝධය දක්වන්නෝ නොහදුනන ඉලක්ක වලට ගොදුරු වෙති. එකතුවී, එකමුතුව ක‍්‍රියා කළහොත් මර්දනයට එරෙහි ශක්තිමත් බලවේගයක් වනු ඇත.

ශ‍්‍රී ලංකාව බෙදීම් බහුල රටකි. එකමුතුව නැත. වෘත්තීය සංවිධාන පොදු අරමුණකින් එකතු නොවේ. දැන උගත් බුද්ධිමතුන් එක අරමුණකින් එකට එකතු කිරීම පහසු නැත. දේශපාලනඥයන්, ජාතික නායයකයන් එකට එකතු කරන්නට ගත් වෑයම් අසාර්ථක වී තිබේ. මාධ්‍ය අතර පමණක් නොව මාධ්‍යවේදීහු අතර ද සිද්ධියක දී එකට එකතු වන ස්වභාවයක් නැත. ජනමාධ්‍ය එල්ල වන බලපෑම් ගැන මෑත කාලයේ නොයෙක් තොරතුරු වාර්තා විය. හුදෙකලා සටන් හැර සංවිධානාත්මකව පියවර ගන්නට සූදානම් බවක් නොපෙනේ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වශයෙන් පවා බෙදීම් තිබේ. එය බරපතල දුබලතාවයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජනතා බලය ඉතාම වැදගත්ය. ජනතා සංවිධාන එකතුවුවහොත් අසීමිත ශක්තියක් ගොඩනැගිය හැකිය. මර්දනය හමුවේ ගත හැකි පියවර පටු බෙදීම් පැත්තකින් තබා එකට එකතුවීම පමණකි.