LOGO

2019 /05 /22 – ලංකාදීප

නිසි කලට මැතිවරණ පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක වැදගත් ලක්ෂණයකි. තමන්ට කැමැති මහජන නියෝජිතයන් පත් කරගැනීම ජනතාවගේ පරම අයිතියකි. මැතිවරණයකින් පොදු ජනතාවට ස්වකීය අභිලාශය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලැබේ. ව්‍යවස්ථාව අනුව මැතිවරණ පැවැත්විය යුතු කාල වකවානු නිශ්චිතව දක්වා ඇත. එය උල්ලංඝනය කිරීම සුදුසු නැත.

ඉතාම හොඳ පාලනයක් යටතේ ඉතාම විශිෂ්ඨ පාලකයෙකු පවා ඡන්දය ප‍්‍රකාශ කිරීමට පොදු ජනතාවට ඇති අයිතියට ගරු කළ යුතුය. මැතිවරණයක දී ජනතාව සිය නියෝජිතයන් පත් කර ගැනීම ගැන තින්දුවක් ප‍්‍රකාශයට පත්කරන අතර එය පිලිගැනීමට නැඹුරු විය යුතුය.

මැතිවරණයකින් පසු බලයට පත්වන  මහජන නියෝජිතයන් ගැන ධුර කාලය අතරතුර තීරණයක් ගන්නට ජනතාවට අවස්ථාව නැත. ඡන්ද කාලයේ දී ජනතාව හමුවට එන බොහෝ නායකයෝ බලයට පත් වූ පසු සාමාන්‍ය ජනතාවගෙන් ඈත් වෙති. එය යහපත් ලක්ෂණයක් නොවේ. මෑත භාගය තුළ ක‍්‍රමය හා දේශපාලන නායකයන් සම්බන්ධයෙන් තිබුණ ගෞරවය බරපතල ලෙස පිරිහීගිය අතර එයට හේතු විග‍්‍රහ කිරීම මෙහි අරමුණ නොවේ.  ඡන්ද නොපැවැත්වීමෙන් රටට වන හානිය සාකච්ඡා කලයුතුය. ජනතා ඡන්දයෙන් බලයට පත් වූ පාලකයෝ නොයෙක් හේතු දක්වා මැතිවරණ කල් දැමූ අවස්ථා ඉතිහාසයේ තිබේ. සමගි පෙරමුණු ආණ්ඩුව අවුරුද්දක් වැඩි පුර බලයේ ඉන්නට ක‍්‍රියා කළේය. හයෙන් පහක බලයක් ලැබ බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව  එම කාල පරිච්ෙඡ්දය අවසානයේ ජනමත විමසීමකින් කාලය දීර්ඝ කර ගෙන තිබේ.

මෙම වකවානු දෙකම සාධාරණ නැත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නොසිතූ ප‍්‍රතිඵල අත් කර දුන් බව අමතක කළ යුතු නැත. බලයේ ඉන්නා දේශපාලන පක්ෂ තව දුරටත් බලය ආරක්ෂා කරගනු සඳහා නීති වගන්ති පෙන්වා ජනතාව ඉදිරියට යන්නට තැත් කරන නමුත් ඒවා සාර්ථක වී නැත. මැතිවරණයකින් ජනතාව තුළ ඇති පීඩනය නිදහස් වන බව සැලකිය යුතුය. එයට ඉඩ නොදෙන සෑම අවස්ථාවකම රුධිරයෙන් වන්දි ගෙවා ඇත.  බිලිවෙන්නේ අහිංසක ජනතාව බව සඳහන් කළ යුතු අතර එයින් සිදුවන හානිය බලවත්ය. මෙරට ඉතිහාසය උගන්වා ඇති පාඩම එයයි.

වත්මන් ආණ්ඩුව බලයට පත් කරන්නට ජනතාව බලවත් උනන්දුවකින් ක‍්‍රියා කළ බව පිලිගත යුතුය. ජනතාවගේ එම අභිලාශය ඡුන්ද නොපැවැත්වීමට ලබා දුන් වරමක් නොවේ. ඉතා උපායශීලී ආකාරයට පලාත් පාලන ඡන්දය ප‍්‍රමාද කළ වත්මන් ආණ්ඩුව ඉනික්බිතව පලාත් සභා ඡන්ද නොපවත්වන තැනට කටයුතු කර තිබේ. අලූතින් නීති හදන්නට හෝ මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්නට සාධාරණ උවමනාවක් ඇති බව පිිලිගත යුතුය. නමුත් එකී අවශ්‍යතාව පෙන්වා ස්වකීය පටු පරමාර්ථ සාක්ෂාත් කරගැනීම ආණ්ඩුවක වගකීම නොවේ. ඡුන්ද කල් දැමීමෙන් ජන සම්මතවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය අසරණ වූ බව පාලකයෝ දැන සිටියේය. පලාත් පාලන මැතිවරණය හා පලාත් සභා මැතිවරණ නිසි අවස්ථාවේ දී නොපවත්වන විට මධ්‍යස්ථ ජනතාව තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය වටහා ගැනීමට පාලකයෝ උත්සාහ කළේ නැත. එය බලවත් වරදකි. එහි ප‍්‍රතිඵලය අද අත් විඳීන්නට සිදුවී තිබේ.

ජන හුමතයට සවන් නොදෙන ජනතාවගේ අයිතිය උදුරා ගන්නා අවස්ථාවල උද්ගත වූ තත්ත්ව ගැන ලෝකය පුරා උදාහරණ තිබේ. පාලකයන්ට බලය තහවුරු කරගැනීම උදෙසා අයුක්ති සහගත ලෙස මැතිවරණ කල් දැමීම අරගල, කැරළි කෝලාහල වගට හේතු වන අතර සමාජ නොසන්සුන්තාවය ඇති කරයි. මහජනතාවගේ දුක වේදනාව විමසන සෑම සාධාරණ අවස්ථාවකම රටට සැනසිල්ල උදා වී තිබේ. ජනතාවගේ අදහස් විමසා බලන සමීක්ෂණ නිතර පවත්වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ජන ජීවිතය ඉතා උසස්ය. පලාත් පාලන මැතිවරණ කල් දැමූ හා පලාත් සභා පැවැත්වීම අවිනිශ්චිත වී ඇති රටක ජනතාව පාලන ක‍්‍රමය ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සිය මතය ප‍්‍රකාශ කරන්නේ කෙසේදැයි තමන්ගෙන්ම ප‍්‍රශ්න කිරීම පාලකයන්ගේ වගකීමකි.