LOGO

2019/05/08 – ලංකාදීප

තනතුරක් යනු වගකීමකි. වැටුප් ලබන තනතුරු තිබේ. වැටුප් නොලබන ගරු සේවා තනතුරු ඇත. සේවාවක් කරන නමුත් දීමනා ගෙවන තනතුරු ද තිබේ. ගෙවන මිල කෙබදු නමුත් තනතුරකට පත් වන පුද්ගලයෙකුගෙන් අපේක්ෂා කරන යුතුකමක් තිබේ. වගකීම් සම්භාරයක් ඇත. පත්වීම් ලිපියකින් කරුණු වගන්ති සහිතව පවරන වගකීම කෙසේ වෙතත් නිරායාසයෙන් සෑම පුද්ගලයෙකුටම ජන සමාජය හා බැදුණු යුතුකමක් හා වගකීමක් තිබේ.

වගකීම හා යුතුකම ගැන දීර්ඝ විග‍්‍රහයක යෙදීම අවශ්‍ය නැත. පවුලේ සාමාජිකයෙකුගේ සිට රාජ්‍ය නායකයා දක්වා පුලූල් පරාසයකට විහිදෙන එකකි.  යම් අවස්ථාවක සිදුවන පැහැර හැරීමක දී සිදුවන්නේ කුමක් ද යන්න ගැන සවිඥාණිකව සිටීම වැදගත්ය.

අතවරයට ලක් වූ කාන්තාවන් ගෙන ගිය බලවත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පසුගිය කාලයේ වාර්තා විය. ‘‘මී ටූ’’ යනුවෙන් එය නම් කර තිබුණි. තමන් කිසියම් අවස්ථාවක අතවරයකට ලක් වූ බව නම් ගම් සහිතව හෙළිදරව් කරන අතර එය කාන්තාවන්ගේ ආත්ම ශක්තිය නංවන වැඩ පිලිවෙලක් විය. ලෝකයේ නොයෙක් බලගතු පුද්ගලයෝ මෙම හෙළිදරව් කිරීම් හෙයින් අපහසුතාවයට පත් වූ අතර ඉන්දියාවේ ප‍්‍රකට දේශපාලනඥයෙකු ධුරයෙන් ඉල්ලා අස්වූයේ ‘‘මී ටූ’’ හෙළිදරව් කිරීමක් හේතුවෙන්ය. මෑතක දී බල්ගේරියාවේ කදුකර ප‍්‍රදේශයක වාහන අනතුරක් හෙයින් දහ හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එයට වගකීම භාර ගනිමින් එරට ඇමැතිවරු තිදෙනෙකු ඉල්ලා අස්වූහ. කදුකර ප‍්‍රදේශයේ සුළු අතපසුවීමකින් සිදුවූ වාහන අනතරකට ඇමැතිවරු වගකිව යුතුද? යන ප‍්‍රශ්නය පැන නැගිය හැකිය. කාන්තාවක චෝදනා කළ පමණින් නිසි විභාගයකින් තොර අවස්ථාවක දී පවා ඉන්දියානු අමාත්‍යවරයා සිය ධුරයෙන් අස් විය යුතු ද යන්න තවත් කෙනෙකුගේ ප‍්‍රශ්නයක් විය හැකිය.මේවායෙන් පෙන්වන්නේ කුමක්ද? ලෝකයේ නොයෙක් රටවලින් හෘද සාක්ෂියක් ඇති අවංක චරිත ස්වකීය අඩු ලූහුඩුකම් පිලිගන්නට මැලි නොවෙති. පිලිගන්නවා පමණක් නොව එයට උත්තරයක් වශයෙන් තමන් වගකීමක් දරන්නට නුසුදුසු බව ප‍්‍රසිද්ධියේ පළ කරමින් ධුරයෙන් ඉල්ලා අස්වෙති. එය ඔවුන්ගේ චර්යාවට පමණක් නොව අනාගත පැවැත්මට ද ඉතා හොඳ පූර්වාදර්ශයකි.

ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය තුළ දහ දහස් ගණනින් වගකීම් හා යුතුකම් පැහැර හරින සිදුවීම් වාර්තා වී තිබේ. එහෙයින් දහස් ගණනින් අහිංසක ජීවිත බිලි වී ඇත. කාගේ හෝ ප‍්‍රමාද දෝෂයකින් සිදුවන වගකීම පැහැර හැරීමක අවසාන තීරණය කුමක්ද? වගකිව යුත්තෝ කිසි දෙයක් නොදන්නා අන්දමට සමාජය ඉදිරියට පැමිණ හැසිරීමය.

නොබෝදා සිදුවූ බලවත් ආරක්ෂක හිඩැස බරපතල සිද්ධියකි. සිදුවීම ගැන කල් තියා දැනගත් නමුත් නිසි විධිවිධාන නොයෙදූ රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව ගැන අන්තර් ජාතික ප‍්‍රජාව විමතියෙන් බලා සිටියේය. කුඩා දරුවන් ඇතුළුව දෙසිය පනහකට වැඩි නිරායුධ, අහිංසක පිරිසක් වන්දි ගෙවා තිබේ. යමක් සිදුවිය හැකි බව දැනගෙන, එය නොතකා සිටි පිරිසක් පමණක් නොව මරාගෙන මැරෙන අනතුරක් සිදුවිය හැකි බව නොදැන සිටි ඉතාම වැදගත් ධුර හොබවන වගකිව යුතු පිරිසක් ද සමාජය ඉදිරියේ නිරාවරණය වී තිබේ. වගකීම භාර ගන්නා බව පොදුවේ ප‍්‍රකාශ කිරීමෙන් පමණක් අතසෝදා ගත හැකිද?  එකිනෙකා වෙත ඇඟිල්ල දිග් කිරීමෙන් පීඩනය මගහරින්නට පුලූවන්කමක් තිබේද?

ස්වකීය අඩුලූහුඩුකම පිලිගැනීමට මැලිවීම විශාල පරිහානියක ලක්ෂණයකි. බලය අතහරින්නට සූදානම් නැති පසුබිමක බලය බෙදාහැරීම ගැන කතා කරන්නේ කෙසේද? තනතුරු හා වරප‍්‍රසාද වලට විශාල කෑදරකමක් මෙරට පවතී. ඉතිහාසයේ සිට බලය හා වරප‍්‍රසාද වෙනුවෙන් කරන ලද පාවාදීම් ප‍්‍රකටය. නූතන සමාජ විග‍්‍රහය අනුව විනිවිද පෙනෙන පාලනයක් හමුවේ මෙවැනි අශෝබන අවස්ථා රටක ඉදිරි ගමන අඩාල කරයි. වරදක් වූ පසු වගකීම භාරගැනීම පමණක් නොව තමන්ට වඩා හොඳීන් තත්ත්වය පාලනය කරන්නට හැකි විකල්ප අවස්ථා ඇතැයි කල්පනා කිරීමට විශාල ආත්ම ශක්තියක් අවශය.