LOGO\

2019/04/24 – ලංකාදීප

ත‍්‍රස්තවාදයට තැනක් නොතැනක් නැත. රැයක් හෝ දවාලක් ගැන වෙනසක් නොමැත. අලූත් අවුරුදු නිවාඩුවට පසු එළැඹුන පළමු පාස්කු ඉරිදා රටට ඉතාම අවාසනාවන්ත දවසක් බවට පත් කළේය. මරාගෙන මැරෙන ප‍්‍රහාර ගණනාවක් බව මාධ්‍ය වාර්තා කර තිබේ. දේවස්ථානයට රැස්වී සාමය හා සමාදානය ප‍්‍රාර්ථනා කළ අහිංසක ජනතාව බිලිගෙන ඇති අතර ප‍්‍රධාන දේව මෙහෙයට පසු තරු හෝටල්වලට පැමිණි පිරිසක් ද ඉලක්ක වූ බව විශ්වාස කෙරේ.

ත‍්‍රස්තවාදය පරාජය කරන්නට රටට හැකි විය. අවසාන වෙඩි මුරය පවත්වා අවි නිහඞ කරන ලද ශ‍්‍රී ලාංකේය ආරක්ෂක හමුදා අංශ වලට නැවතත් ගිනි අවි අතට ගැනීමට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයකි. ඉකුත් දස වසර තුළ සාමකාමී සහජීවනය මෝදු වෙමින් පැවතිණි. ශ‍්‍රී ලංකාව අලූත් යුගයකට ඇතුළු වෙමින් සිටින බව ජාත්‍යන්තර ප‍්‍රජාව විශ්වාස කළේය. අතීතය අමතක කර නැවත නැගී සිටිනු අරමුණු කරගෙන හදවත් පිබිදෙමින් තිබුණ අවස්ථාවක මතු වූ මෙම හදිසි ප‍්‍රහාරය රට කම්පනයට පත් කර තිබේ.

මෙම ප‍්‍රහාර මාලාව හොඳින් සැලසුම් කළ පිරිස, සන්සුන් රටක් නොසන්සුන් කිරීමෙන් අරමුණු කළේ කුමක් ද යන්න පැහැදිලිය. ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී කල්ලි මෑත කාලය තුළ ලෝකයේ නොයෙක් රටවල අහිංසක ජනතාව වෙත ප‍්‍රහාර එල්ල කළේය. සිද්ධි වලට ගොදුරු වූ රටවල් ආරක්ෂාව තහවුරු කරනු සඳහා විවිධ පියවර ගත්හ. නොයෙක් තැන් වලට ප‍්‍රහාර එල්ල වන විට, ත‍්‍රස්තවාදය අවසන් කරන ලද හෙයින් අපට ප‍්‍රශ්නයක් නැති බව හිතන්නට අප නිරායාසයෙන්ම නැඹුරු විය. බුද්ධි අංශ පැත්තකට කරන ලද අතර ආරක්ෂක අංශ හොඳ මානසිකත්වයක තැබිය යුතු බව අමතක කළේය. අනවධානයෙන් සිටිය යුතු මොහොතක් නැති අතර සෑම අවස්ථාවකම සුපරීක්ෂාකාරී විය යුතු බව මෙම සිද්ධිය පෙන්වා දී තිබේ. ඉතිහාසය අපට පාඩම් කියා දී ඇත. ඉක්මනින් අමතක කිරීම අපගේ වරදකි. මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී කල්ලි සිය සූක්ෂම වැඩපිලිවෙල අත්හැර නැත. ලෝකයේ එක තැනක් පරීක්ෂාකාරී වන විට අපරීක්ෂාකාරීව සිටින අනෙක් තැනක් තෝරා ගැනීමට යුහුසුළුවී තිබේ. අඩුපාඩු, මගහැරීම් හෝ සුළු සිද්ධි නොසලකා හැරීම භයානකය.

මෙම සිද්ධියෙන් පසු ගත යුතු පැති දෙකක් තිබේ. එකක් ආරක්ෂාවයි. අනෙක ජාතික එකමුතු භාවයයි. රටක් වශයෙන් එකතුවන්නට තිබුණ වටිනා අවස්ථා ගණනාවක් අත්හැර දැමීය. සුනාමි ව්‍යසනය අවසන් වන විට යළි නැගී සිටීම සමග පටු බේධ අත්හැර එක ලාංකේය සමාජයක් ගොඩනැගිය හැකිව තිබුණි. ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු යළි බිහිවන රට එකම පවුලක් සේ නගන්නට අවස්ථාවක් විය. නමුත් මෙරට නායකයෝ ක‍්‍රියා කළේ පුරුදු බේධ ඇති කිරීමය. දේශපාලන නායකයෝ පක්ෂ ගෝත‍්‍ර නඩත්තු කළ අතර ආගමික නායකයෝ නිකාය ආරක්ෂා කළහ. පක්ෂ ගෝත‍්‍රික බව හා ආගමික නිකාය වශයෙන් හිතන්නේ නැති පුලූල් සමාජයක් බිහි නොකළ රට තුළ නැවතත් බෙදීම් රේඛාවක් මතු වී ඇත. මෙම සිද්ධි පෙන්වන්නේ එයයි. මෙම අවස්ථාවේ දී පටු අරමුණු පසෙක පා ඉතාම බුද්ධිමත්ව ක‍්‍රියා නොකළහොත් රටට පාලනය කරගත නොහැකි තත්ත්වයක් මතු වෙන්නට බැරි නැත. හේතුව අපට මුහුණ දෙන්නට සිදුවී ඇති ත‍්‍රස්තවාදී කණ්ඩායම් ජාත්‍යන්තරව අක් මුල් විහිදී ගිය සූක්ෂම ජාලා බවට පත්ව ඇති හෙයින්ය. රටවල් සමග පවතින සම්බන්ධතා තරකරගත යුතු අතර බලවත් රටවල් සමග පවතින සම්බන්ධතා කෙරෙහි අලූත් ව්‍යුහයකින් සලකා බැලීම වැදගත්ය.

ත‍්‍රස්තවාදය ගැන අනෙක් සමහර රටවලට වඩා අත්දැකීම් ඇති සහ ප‍්‍රබල බුද්ධි අංශ සාමාජිකයන් සහිත අප නැවතත් සූදානම්වීම අවශ්‍යය. සුළු සිද්ධි නොසලකා හැරීමේ වරදට තිස් වසරක් වන්දි ගෙවා තිබේ. සිදුවීම් හමුවේ හැඟීම්බර වීම නරකය. එක ජාතියකට හෝ එක ආගමකට සිද්ධි ලඝු කළ යුතු නැත. ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් එකමුතුවීම අවශ්‍යය. ජාති, ආගම්, දේශපාලන පක්ෂ වශයෙන් බෙදීම අමතක කර රටකට එලල් වූ අභියෝගයක් සේ සැලකීම ඉතා වැදගත්ය. එකිනෙකා කෙරෙහි චෝදනා එල්ල කර ගැනීම මෙවැනි සිද්ධියකට පසු දැකගත හැකි තත්ත්වයකි. අහිංසක ජනතාවගේ ජීවිත එයින් ආරක්ෂා වෙන්නේ නැත. හැඟීම් වෙනුවට බුද්ධියට තැන දිය යුතු අතර පරීක්ෂාකාරීවීම පළමු පියවරයි. මෙම අවස්ථාවේ දී පක්ෂය බලා ගන්නා ගෝත‍්‍රික නායකයන් හා ආගම බලාගන්නා නිකාය ප‍්‍රධානීන් ඉක්මවා ගිය ජාතික නායකයෝ ඉදිරියට පැමිණ රට එකමුතුභාවයෙන් අවදි කළ යුතුය.