LOGO

2019/04/17 – ලංකාදීප

වොලෝඩිමයර් සැලැන්ස්කි යුක්රේනයේ නම් දැරූ විකට නළුවෙකි. ප‍්‍රකට රූපවාහිනී ප‍්‍රහසන වැඩසටහනක ප‍්‍රධාන නළුවා වූ අතර ‘‘ජනතා සේවකයා’’ නමින් වූ එම වැඩසටහන රට තුළ පවතින ක‍්‍රමය හාස්‍යයට ලක් කළේය. ජනප‍්‍රියත්වයට පත් හෙතෙම ජනාධිපතිවරණයට තරග කරන තෙක් අලූත් ප‍්‍රවේශයකය. සැලැන්ස්කි තවත් දින හතරකින් එරට ජනාධිපතිවරයා බවට පත් වෙන්නට බැරි නැත. ජනාධිපතිවරණ පූර්ව ඡන්ද විමසීමේදී සෑහෙන ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගෙන ඇත. යුක්රේනයේ ජනාධිපති වශයෙන් විකටයෙකු රජ වෙන ලකුණු පහල වී ඇත්තේ ඇයි? ජනසම්මත දේශපාලන ක‍්‍රමය විකෘති වන විට මෙවැනි හිඩැස් ඇති වෙයි. රට ගොඩනගන බව කටපුරා කියන දේශපාලනඥයෝ, ජනතා ඡන්දයෙන් බලයට පත් වෙති. බලය ගැනීමෙන් පසු ජනතාවගේ හැබෑ ගැටළු වලට විසදුම් නැත. ඉක්මන් ධනය සොයන දූෂිතයන් බවට පත් වන අතර ජනතාවට දුන් පොරොන්දු අමතක කරති. යුක්රේනයේ පමණක් නොව ලෝකයේ නොයෙක් තැන් වල සිදුවෙන්නේ එයයි.

යුක්රේන ජනාධිපතිවරණය අන්තර් ජාතික අවධානයට ලක් ව ඇත. සම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ වල ප‍්‍රබල අපේක්ෂකයන් අභිබවා තනි පුද්ගලයෝ ජනතා අවධානය දිනාගෙන තිබේ. ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ඩොනල්ඞ් ට‍්‍රම්ප් එවැනි හුදෙකලා සටනක් ජයග‍්‍රාහීව අවසන් කළේය. ඉතාලියේ විකට පක්ෂය ද සෑහෙන ප‍්‍රගතියක් අත් පත් කරගත්තේය. යුක්රේනයේ ජනාධිපති අපේක්ෂක සැලැන්ස්කි හතලිස් එක් හැවිරිදි ගුරුවරයෙකු වන අතර ඔහු ගේ විකට වැඩසටහන පවතින දේශපාලන ක‍්‍රමය හා එහි දූෂිත පැති නිර්දය විවේචනයට ලක් කළේය. 2018 මාර්තු මාසයේ දී සිය රූපවාහිනි වැඩසටහනේ නමින් තම දේශපාලන පක්ෂය ලියාපදිංචි කළේය. අවුරුද්දකට පසු ජනාධිපතිවරණ ඡන්දයේ ප‍්‍රබල ස්ථානයකය.

සැලැන්ස්කි ගේ මැතිවරණ ව්‍යාපාරය ගැන ද යමක් සඳහන් කළ යුතුය. ‘‘පොරොන්දු නැහැ. ප‍්‍රශ්නයක් ද නැහැ’’යන අර්ථය හැඟවෙන සටන් පාඨයක් භාවිතා කරයි. ඔහු කියන ආකාරයට ඔහුගේ එකම වේදිකාව අන්තර් ජාලයයි. විශාල ප‍්‍රචාරක ව්‍යාපාරයක් නැතත් ඔහු, එරට දොරින් දොර කියැවෙන නමකි. පළමු වටයේ දී ඔහු සියයට 60 ක ප‍්‍රගතියක් පෙන්වන අතර ප‍්‍රතිවාදී අනෙක් අපේක්ෂක පෙට්‍රෝ පොරෙෂෙන්කෝ සියයට 19 ක වාසියක් අත් පත් කරගෙන සිටී.

විකටයන් ජනතාව අතර නායකයන් බවට පත් වීම පමණක් නොව ජනතා නායකයන් වශයෙන් ගෞරවයට පාත‍්‍ර වූ චරිත විකටයන් සේ හැසිරීම ද විශේෂ අවධානයට පත් විය යුතුය. තම නායකයා වශයෙන් පොදු ජනතාව ඉල්ලන්නේ විකටයන්ද? එඩිතර, තීණගත හැකි ගරු කටයුතු චරිත තව දුරටත් අවශ්‍ය නැති යුගයක් ද යන ප‍්‍රශ්නය අප හමුවේ තිබේ. සමාජ මාධ්‍ය යුගයේ දී චරිත බිහිවෙන්නේ තාවකාලික ජනප‍්‍රියත්වය පදනම් කරගෙන ද යන කාරණාව ද සලකා බැලිය යුතුව ඇත. විකටයන් සේ හැසිරෙන වගකිව යුතු පුද්ගලයන් හාස්‍යයට ලක් කිරීම අරමුණු කරගෙන මාධ්‍ය එම පුද්ගලයෝ අනාවරණය කිරීම අරඹන්නට ඇත. දැන් හැම තැනම මාධ්‍ය අවධානය ගැනීමේ අදහසින් විහිළු කාරයන් වී ඇති නායකයෝය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබල නායකයෝ තම පුරුදු ස්වභාවය අතහැර ජනතාව අතර ‘‘තාවකාලික වීරයෝ’’ වශයෙන් කැපී පෙනෙන්නට තැත් කරති. හැසිරීම, කතාව හා අනුගමනය කරන ශෛලිය සමාජ මාධ්‍ය හෝ රූපවාහිනී ප‍්‍රවෘත්ති ඉලක්ක කරගෙන කරන බව පෙනේ.  බුද්ධිමත් ජනතාව මෙවැනි හැසිරීම් අනුමත කරනවාද යන්න විමසා බැලිය යුතුය. මාධ්‍ය වගකීමක් ඇතිව කටයුතු කළ යුතු හෝරාව උදා වී තිබේ. ජනතාවට අවශ්‍ය තම ගරුත්වය දිනා ගත හැකි නායකයෙක් ද? නැත්නම් විකට චරිතයක් ද? විහිළුකාර චරිතයකට අනාගතය බාරදීමට අප සූදානම්ද? විකට නළුවන් නායකයන් වන ප‍්‍රවනතාවයක් පවතින පසුබිමක දේශපාලනඥයෝ විකටයන් බවට පත්වීම අවධානයට ගත යුතු කාරණයකි.