LOGO
සිංහල හා දෙමල අලූත් අවුරුද්දට කලින් ගතකරන කාර්ය බහුල දින කිහිපයක් ගෙවී යමින් තිබේ. අලූත් අවුරුදු උදාව හා එහි උත්සව සිරිය ගැන අප‍්‍රමාණ සිහින ඇති නමුත් බහුතර ජන කොටසකට එම සිහින සාක්ෂාත් කරගැනීමට හැකියාවක් නැත. යතාර්ථය එයයි. අතට ලැබෙන ආදායම යුතුකම් ඉටු කරන්නට ප‍්‍රමාණවත් නොවේ. රට තුළ ඇති නැති පරතරය දරුණු ලෙස වර්ධනය වී ඇත. සමාජ පරිවර්තනයක් තුළින් අලූත් යුගයක් කෙරෙහි තිබුණ බලාපොරොත්තු බිඳ වැටී තිබේ. දේශපාලනය ඇතුළු සියළුම ක්ෂේත‍්‍රවල නායකයන් සහ අප හැමදෙනා එයට වගකිවයුත්තෝය.
නිදහස ලැබී වසර හැත්තෑවකට පසු අලූතින් හිතන්නට සිදුවී තිබේ. තැනින් තැන මතුව ඇති අර්බුද, කැඞී බිඳී කඩතොළු වූ ක‍්‍රමය, යාන්තම් පැලැස්තර අලවා ගත් විසදුම් සහ අපේක්ෂා භංග වූ ජනතාව වෙත අලූත් පණිවුඩයක් අවශ්‍ය වී ඇත. ක‍්‍රමය දූෂිත වූ විට ප‍්‍රතිසංස්කරණ පලක් නැත.
පවතින හැම දෙයක්ම අලූතින් හදන්නට අවශ්‍යය. බිංදුවෙන් පටන් ගත යුතුය. අද යුගය, අලූත් දේ සොයා කැලැත්තීම් සිදුවන වකවානුවකි. දේශපාලනය, බලශක්තිය, ප‍්‍රවාහනය, සෞඛ්‍ය හා අධ්‍යාපන ඇතුළු සෑම අංශයකම කැලැත්තීමක් ඇති අතර ඒවායෙන් නවතම දේ නිර්මාණය වෙමින් තිබේ.
ආපසු හැරී බලන විට, ප‍්‍රංශ විප්ලවය සමාජ පෙරැළියකට මුල පුරන ලද අතර පසුව චීනය, කාම්බෝජය ඇතුළු රටවල විප්ලව හා පසුව වාර්තා වූ ප‍්‍රතිවිප්ලව වලින් බිංදුවෙන් පටන් ගැනීමේ සංකල්ප ක‍්‍රියාත්මක විය. කාම්බෝජයේ පොල්පොට් පාලනය යුටෝපියාවක් ගොඩනගන සිහිනයක සිටියේය. එය සහමුලින්ම අසාර්ථක විය. යුටෝපියාව ග‍්‍රීක දාර්ශණිකයන්ගේ සිතුම් රාජ්‍යයයි. කිසිම ප‍්‍රශ්නයක් නැති, ජනී ජනයා ඉතා සතුටින් ජීවත්වන නගරයකි. ලෝකයේ කොතැනක හෝ යුටෝපියා නගරයක් බිහි වී නැත. පෙරදිග කලාපයේ අපට ඉසුරින් පිරි කේතුමතියක් ගැන අපේක්ෂාවක් තිබේ. රට ඉසුරුමත් කේතුමතියක් කරන බව ඉදුරා ප‍්‍රකාශ කර බලයට එන පාලකයෝ තිබුණු තැනටත් වඩා පහතට ඇද දමා බලයෙන් පහ වී යති.
පවතින දේශපාලන ක‍්‍රමය අනුව රට ආගාධයට ඇද දැමූ ප‍්‍රතික්ෂේපිත දේශපාලනය නැවත බලයට ගෙන එන්නට ජනතාවට සිදුවන කාලය එපමණ දුර එකක් නොවේ. සුරංගනා කතා කියා බලයට එන පාලකයෝ කලින් තිබුණ පාලනයටත් වඩා දුර්වල බව දකින විට පරාජිතයෝ නැවත කැඳවනවා හැරෙන්නට විකල්පයක් ජනතාවට නැත. මෙයට හේතුව කුමක් ද? අලූතින් හිතන්නට, අලූත් දෙයක් කරන්නට ඇති මැලිකමයි. අවදානමක් ගන්නට අසමත්වීමයි.
පොල්පොට් ක‍්‍රම රටට අවශ්‍ය නැත. තරයේ ප‍්‍රකාශ කළ යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හොඳ පාලන ක‍්‍රමයකි. නමුත් එය අත්තනෝමතික විය යුතු නැත. ක‍්‍රමය තමන්ට පමණක් වාසිදායක සේ භාවිතා කිරීම ප‍්‍රතික්ෂේප කළ යුතුය. පාලකයන්ට උවමනා පරිදි පවතින ක‍්‍රමයක් හා පොදු ජනතාවට බදු, ණය හා දඩ පැනවීමත් යුක්ති සහගත නැත. මේවා පනවන ආණ්ඩුව වෙනස් කර අලූත් ආණ්ඩුවක් හැදීම උත්තරය නොවේ. අලූත් පාලකයන් වශයෙන් වාඩිවෙන්නේ කලින් දූෂිතයන් සේ පිටමං කළ පිරිසය. මහළු, තීරණයක් ගත නොහැකි, ආත්මාර්ථකාමී සහ අලූත් අදහස් නැති බංකොලොත් නායකයෝ ඉවත්කර බිංදුවෙන් පටන් ගන්නා ව්‍යායාමයක් ගැන අපි කල්පනා නොකරන්නේ ඇයි?
යුද්ධයක් හමුවේ විඳීන්නට පුලූවන් භීතිය අත් විඳ තිබේ. නැවත නැගී සිටීමක් හමුවේ අප‍්‍රමාණ දුක් කන්දරාවක් විඳීන්නට සිදුවී ඇත. දශක තුනක් මරණයට මුහුණ සිටි හා තවත් දශකයක් පුරා ජීවත්වීමේ පීඩනය අත්විඳීන සමාජයකට බිංදුවෙන් පටන් ගැනීම අලූත් අභියෝගයක් නොවේ. අලූත් අවුරුදු කාලයේ ‘‘නොනගතය’’ රට නවතින තැනකි. එතැනින් සුබ නැතකට වැඩ පටන් ගන්නා විට යුටෝපියාවක් කරා යන ගමන බිංදුවෙන් අරඹන සේ පාලකයන්ට බල කළ යුතුය.