LOGO

2019/04/03 – ලංකාදීප

සියළු විපාක වලට හේතුව යුද්ධය යැයි සාප කරන ලද යුගයක් තිබුණි. යුද්ධය අවසන් කරන තෙක් ඉවසන්න. ජනතා ප‍්‍රශ්න වලට එකල ලැබුණ ජනප‍්‍රිය පොදු උත්තරයක් විය. වෙඩි හඞ නතර වී වසර දහයක් ගත වී තිබේ. දශක තුනක කාලයක් පැවැති යුද්ධයෙන් රටට සිදුවූ හානිය අති විශාලය. ආපසු හැරී බලන විට, යුද්ධයක් තිබුණ කාල වකවානුව මෙන් තුනෙන් එකක කාලයක් සාමය උදා වීමෙන් පසු ගත කර තිබේ. ගත වූ සාමකාමී වාතාවරණය තුළ අත්පත් කරගෙන ඇති ජයග‍්‍රහණ ගැන රටට සතුටු විය හැකිද?

යුද කාල පරිච්ඡේදය තුළ අහිමි වූ දේ අපමණය. මනුස්සකමට සිදුවූ හානිය එයින් බරපතලම දෙයකි. මිනිස් ජීවිතයක වටිනාකම අවම තත්ත්වයට පත් වූ අතර ජීවිත වලට වටිනාකමක් නැවත ඇති කරගැනීමේ මෙහෙවර අවසන් වී නැත. එය විශාල පරිශ‍්‍රමයක් දැරිය යුතු කර්තව්‍යයකි. සෑම පාර්ශවයකම කැපවීම අවශ්‍යය. භෞතික දියුණුව ද ළඟා කරගත යුතුව ඇත.

පාර්ශව අතර බිහිසුණු ගැටුම් තිබිය දී සංවර්ධනය ගැන පැවැති අවධානය බෙහෙවින් සීමා වූ බව ප‍්‍රකට කාරණයකි. සංවර්ධන වැඩසටහන් ප‍්‍රමාද විය. යටිතල පහසුකම් ඇති කිරීම ඇතුළු ජන ජීවිතයට අදාල වැඩ පිලිවෙල සෑහෙන ප‍්‍රතිශතයකින් අඩාල වූ බව පිලිගත යුතුය. ගැටුම් පවතින හෙයින් ප‍්‍රමාදව මග හැරී ගිය කාල වකවානුව තුළ ජාත්‍යන්තර සමාජය විශාල පරිවර්තනයකට ලක් විය. යටිතල පහසුකම්, බලශක්තිය, සන්නිවේදනය, අධ්‍යාපනය හා සෞඛ්‍ය අංශ වල අත්පත් කරගෙන ඇති ප‍්‍රගතිය සෑහෙන එකකි.

අහිමි වූ අවස්ථා දිනා ගැනීම අරමුණු කරගෙන වේගවත් සංවර්ධනයක් කරා ගමන් කිරීම අවශ්‍යය. නමුත් වාද විවාද වලට පමණක් සීමා වූ පටු දේශපාලනය ශ‍්‍රී ලංකාවේ තත්ත්වය තවත් නරක තැනකට පත් කර තිබේ. යුද්ධයක් තිබිය දී පොදු ජනතාව භුක්ති විඳින ලද පහසුකම් සාමය උදාවීමෙන් වසර දහයකට පසු රටට නැත. එය සලකා බැලිය යුතු බරපතල ස්වභාවයකි.

බලශක්ති අංශය තුළ ගැටළු තිබේ. ඛනිජ තෙල් මිල හා විදුලිය බලය ජනතාව පීඩාවට පත් කර ඇත. පොසිල ඉන්ධන භාවිතා කිරීම සීමා කරන අලූත් බලශක්ති සංකල්ප ජාත්‍යන්තරය තුළ භාවිතාවට ගැනෙන පසුබිමක දවසකට පැය හතරක් විදුලිය කපා හරින්නට සිදුවී තිබේ. නියඟය බලපවත්වන අතර සෑම ප‍්‍රදේශයකටම ජලය හිඟයක් ඇත. මහා මාර්ග වල තදබදය ජනතාව පෙලන තවත් ගැටළුවකි. පොදු ප‍්‍රවාහනය පිරිහී තිබේ. ආර්ථික තත්ත්වය යහපත් නැත. රජයේ ආර්ථිකය පමණක් නොව ජනතාවගේ ආදායම ද දුර්වල වී ඇති අතර ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැතිභාවය ඇතුළු ප‍්‍රශ්න ජනතාව පීඩාවට පත් කර ඇත. ජීවන වියදම හා අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි අංශ වලට දරන්නට සිදුවී ඇති පිරිවැය සාමාන්‍ය ජනතාවට ඉසිලිය නොහැකි බව සඳහන් කළ යුතුය. ආයෝජකයන්, ව්‍යවසායකයන් පවතින බදු හා නිලධාරීවාදය ගැන මැසිවිලි නගන්නට පටන්ගෙන තිබේ.

අහන්නට ලැබෙන, දකින්නට ඇති පවතින පරිසරය වෙනස් කිරීමෙන් තොරව ඉදිරියට ගමන් කිරීමක් ගැන හිතන්නට පුළුවන්කමක් නැත. ජනතාව තුළ අලූත් අපේක්ෂා ඇත. ක‍්‍රමය වෙනස් කළ යුතු බවට අදහස් පැන නැගෙමින් තිබේ. නමුත් දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ වෙනස් වෙන්නට සූදානම් නැත. අලූත් භාවිතාවක්, අලූත් සැලැස්මක් රහිතව එළැඹෙන අභියෝග ජයගත නොහැකි බව ඉතාමත් පැහැදිලිය. පවතින තත්ත්වය වෙනස් කරන්නට අවශ්‍ය බව පාලකයන්ට නොදැනෙන්නේ ඇයි?