LOGO

2019/03/27 – ලංකාදීප

නිදුක් නිරෝගී බව අප සියළුම දෙනාගේ ප‍්‍රාර්ථනයයි. රෝගී වූ පසු එය සුවපත් කරගන්නා තෙක් ප‍්‍රශ්න සෑහෙන ප‍්‍රමාණයකට මුහුණ දෙන්නට සිදුවෙයි. වහා නිසි ප‍්‍රතිකාර ගැනීම ඉතා වැදගත්ය. සුදුසු වෛද්‍යවරයෙකු මුණ ගැසී පරීක්ෂා කිරීමෙන් පසු රෝගියාට අවශ්‍ය ඖෂධ නියම කෙරේ. ඒවා නියම කරන ලද පරිදි නිසි මාත‍්‍රාවට ලබා ගැනීම ඉතාම වැදගත්ය. රෝගීන්ට ලැබෙන ඖෂධ ගැන අලූත් අර්බුදයක් මතු වී තිබේ. අප‍්‍රිකානු මහාද්වීපයේ රටවල රෝගීන් බහුලව භාවිතා කරන බෙහෙත් වර්ග දහයකින් එකක් ව්‍යාජ ඒවා බව ජාත්‍යන්තර පර්යේෂණයක් වාර්තා කර තිබේ. නිසි ප‍්‍රමිතියට නැති බව අනාවරණය කර ඇත.

නිසි මාත‍්‍රාවෙන් යුතු ගුණාත්මක ඖෂධ මිල ඉහළය. එම පිරිවැය දරාගත නොහැකි අවස්ථාවල නියම ප‍්‍රමිතිය රහිත බෙහෙත් වර්ග නිෂ්පාදනය කර බෙදාහැරේ. ඒවා නිපදවන සමාගම් ඉතා සූක්ෂමය. මිල අඩු කර බෙහෙතක් විකුණන අතර ඒවායේ නියම ගුණාත්මක භාවය ඇති බව අඟවයි. ඇත්ත වශයෙන්ම එම බෙහෙත සිත පිනවීමක් පමණකි. රෝගියා නියමිත පරිදි බෙහෙත පාවිච්චි කරයි. රෝගය මැඩ පවත්වන්නේ නැත. වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි බෙහෙත් ගත් නමුත් රෝගියා ජීවිතක්ෂයට පත්වන්නේ රෝගයට නිසි ප‍්‍රතිකාර රහිතවය. එය අවාසනාවන්ත තත්ත්වයකි.

අප‍්‍රිකාවට පමණක් නොව ලෝකයේ සෑම තැනකටම නිසි ප‍්‍රමිතියක් රහිත ව්‍යාජ බෙහෙත් වර්ග අලෙවිය ප‍්‍රශ්නයක් වී තිබේ. එකම ඖෂධය විවිධ සමාගම් මගින් නිපදවන අතර ඒවායේ ගුණාත්මක භාවය ගැන ප‍්‍රශ්න ඇත. සාමාන්‍යයෙන් ඖෂධ අලෙවියට අනුමැතිය අවශ්‍යය. නොයෙක් නීති මගින් ප‍්‍රමිතිය සොයා බලයි. එහෙත් ව්‍යාජ ඖෂධ පාලනය කිරීම පහසු නැත.

ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් නිතිපතා භාවිතා කරන ඖෂධ වර්ග වල ප‍්‍රමිතිය ගැන සොයා බැලීමක් අවශ්‍යය. එය බටහිර බෙහෙත් වලට පමණක් සීමා කිරීම සුදුසු නැත. බටහිර බෙහෙත් ශරීරයට අහිතකර බව කල්පනා කරන ඇතැමෙකු ආයුර්වේද බෙහෙත් භාවිතා කරති. බටහිර වෛද්‍යවරු පමණක් නොව ආයුර්වේද වෛද්‍යවරු ද රෝගීන්ට ප‍්‍රතිකාර කරන අතර ඔවුහු නියම කරන බෙහෙත් වර්ග එකිනෙකට වෙනස්ය. ප‍්‍රතිකාර ලියා දුන් පසු ඔසු හලෙකින් හෝ සිංහල බෙහෙත් බඩු කඩයකින් ඒවා මිල  දී ගන්නා අතර භාවිතයට ලැබෙන්නේ නියම කරන ලද බෙහෙත දැයි ආපසු පරීක්ෂා කරන්නේ ඉතාම කළාතුරකින්ය.

ප‍්‍රතිකාර සොයා වෙහෙසීම නිරර්ථක අතර රෝග වැළදෙන හේතු පාලනය කිරීම ඉතාම වැදගත්ය. ව්‍යායාම, නිසි ආහාර පාන ඇතුළු එදිනෙදා පැවැත්ම නිසි පරිදි පාලනය කරගත යුතුය. නමුත් ඉතා අවිවේකී, ආහාර ගැන අවධානය අඩු මෙරට වැසියෝ බෝ නොවෙන රෝග වලට ගොදුරු වන අවස්ථා බහුල බව සෞඛ්‍ය අංශයේ වාර්තා තහවුරු කරයි. සෑම නගරයකම ඇති වෛද්‍ය මධ්‍යස්ථාන ගණන හා ඖෂධ අලෙවි කරන ස්ථාන ප‍්‍රමාණය මෙරට නිරෝගී බව ප‍්‍රශ්න කරන එක්තරා සංකේතයකි.

පොදු ජනතාව මිල දී ගන්නා බෙහෙත් හේත් ගැන විශ්වාසනීයත්වය තහවුරු කරන වැඩ පිලිවෙලක් අවශ්‍යය. ඖෂධ මිල දී ගැනීමෙන් පසු නැවතත් වෛද්‍යවරයාට පෙන්වා ඒවා නියම කරන ලද දේ දැයි දැනගන්නට ප‍්‍රජාව නැඹුරු කළ යුතුය. තාක්ෂණික භාවිතාව බහුල වර්තමානයේ දී නිසි ප‍්‍රමිතියක් සහිත බෙහෙත් මිල දී ගැනීමේ දී තමන්ටම සොයා බලා දැනගන්නට හැකි සංඥා – සංකේත ක‍්‍රමයක් හදුන්වා දීමට ඇති හැකියාව කෙරෙහි සොයා බැලීම සුදුසුය. භාවිතා කරන බෙහෙත හැබෑ එකක් දැයි දැන ගැනීම අයිතියක් සෑම පුරවැසියෙකුටම තිබිය යුතුය.