LOGO

2019/03/06- ලංකාදීප

අන්තවාදය පලක් නැති බව අවබෝධ වෙමින් තිබේ. ලෝකයේ තැනින් තැන වාර්තා වූ එකිනෙකට වෙනස් සිද්ධි මැද මාවතට අවතීර්ණ වීමේ වැදගත්කම පෙන්වා දී තිබේ. ඉන්දියාව සහ පකිස්තානය අතර අන්තවාදී අදහස් උත්සන්න වී ඇත. දෙපාර්ශවය අතර මෝදු වූ අන්තවාදී අදහස් අවසානයේ ගැටුමකට මුල පුරා තිබේ. මුල් වටයේ ප‍්‍රහාර වලින් පසු ගැටුම් ඇති කිරීමට වඩා සාකච්ඡාවෙන් විසඳා ගැනීම වැදගත් බව පකිස්තාන අගමැතිවරයා පෙන්වා දී තිබේ. ඇවිලවීම පහසුය. පියවරක් පිටුපසට තබා මැද සොයා ගැනීම අපහසුය.

බි‍්‍රතාන්‍ය ඉතාම තද අන්තවාදයක් කරා ගමන් කළේය. බි‍්‍රක්සිට් එහි එක කෙළවරකි. යුරෝපා සංගමයෙන් ඉවත්වන යෝජනාවක් පදනම් කරගෙන එරට දේශපාලනය දෙකට බෙදී අවුල් ඇති කරනගන්නා තැනට පත් විය. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පසු පෙළ මහජන නියෝජිතයන් පිරිසක් අන්තවාදයෙන් ප‍්‍රයෝජනයක් නැති බව සඳහන් කර පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව ප‍්‍රකාශ කර තිබේ. ඇමරිකාවේ ද අන්තවාදී අදහස් වලට තැනක් නැති බව සනාථ වෙයි. වසර දෙක තුනකට කලින් තිබුණ පසුබිම වෙනස් වී ඇත.

දේශපාලන, ආර්ථික, ආගමික වශයෙන් මැද මාවත තෝරා ගැනීමට අවධානය යොමු කළ යුතුය. ශ‍්‍රී ලංකාව බුද්ධ දර්ශනය ගැන අවබෝධයක් ඇති බහුතර පිරිසක් ජීවත් වන රටකි. අන්තවාදය සැනසුමට මග නොවන බව බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. සෙසු ආගම් වල පවා අන්තවාදය නැත. ඇදහිල්ල අනෙකකි. ආගමික වශයෙන් මධ්‍යස්ථ තැනක ද යන්න ප‍්‍රශ්න කරන්නට අවශ්‍යය. මහා සංඝරත්නය ආදර්ශයක් සැපයිය යුතුය.

දේශපාලන වශයෙන් අන්තවාදී කණ්ඩායම් වල ක‍්‍රියාකාරීත්වයෙන් වලින් රටට ලැබී තිබෙන ප‍්‍රයෝජනය කුමක්ද? පටු පරමාර්ථ ඇතිව කටයුතු කරන කුඩා කණ්ඩායම් විශාල ඝෝෂාවක් ඇති කරන අතර එම හඞ මතුකරන පිරිස සතු ශක්තිය අන්තවාදය පමණක් බව තේරුම් ගත යුතුය. පටු අන්තවාදය මගින් රට තුළ බෙදීම් උග‍්‍ර කර තිබේ. එකිනෙකා කෙරෙහි ඇති බැඳීම් විනාශ කර ඇත. එයින් පලක් නැත. එකතුව, එකමුතුව මුහුණ දීම අරභයා දෙපාර්ශවයම පිලිගන්නා මැද මාවතක් සොයා ගැනීම අවශ්‍යය. දේශපාලනයේ දී අන්තවාදී ක‍්‍රියාකාරකම් හෙයින් රට සෑහෙන වතාවක් ගැටළු වලට මුහුණ දී ඇත. ජනතාවගේ මතයට සවන් දී මධ්‍යස්ථව කටයුතු කරන්නට සමත්වූයේ නම් ශ‍්‍රී ලංකාව ආර්ථික හා සමාජයීය වශයෙන් ඉහළ තැනකය.

අප සියළුම දෙනා ආර්ථික, සමාජ, දේශපාලන හා ආගමික ඇතුළු සෑම ක්ෂේත‍්‍රයකම අන්තවාදී ගොදුරු බවට පත්ව තිබේ. තර්කය හැර අනෙකක් ගැන හිතන්නේ නැත. අන්තවාදීව කරන තර්කයෙන් ඇත්ත මතු වෙන්නේ නැත. විවාදයක දී තර්ක කරන පාර්ශවයක අන්තවාදී ඉදිරිපත් කිරීම හා එය මතුකරන උස් විලාසය අනුව සත්‍ය මතු වෙන්නේ යැයි හිතන්නේ නම් වරදකි. සාවධානව කල්පනා කළ යුතුය. සත්‍ය යැයි සිතන වෙනත් මුහුණුවරක් සැම අංශයකම පවතී. දේශපාලන, ආගමික අංශ වල එය ඉතා දරුණු මුහුණුවරක් ගෙන ඇති අතර පැවැත්ම වෙනුවෙන් සත්‍යගරුකවීම හැර අනෙක් ක‍්‍රමයක් අනුගමනය කරමින් සිටී. ආර්ථික විෂයයෙහි දී ද අමිහිරි සත්‍ය වෙනුවට කනට මිහිරි අසත්‍යයට ගොදුරු වෙන්නට අප සියළු දෙනාම කැමැතිය. එහෙයින් පාලකයෝ හැබෑව වෙනුවට එය වෙනත් පැත්තකට හරවා ජනතාව හමුවට ඉදිරිපත් කරන්නට යොමු වී තිබේ. ලෝකයේ කොතැනත් සිදුවන්නේ එයයි.

පැවැත්ම වෙනස් කරගැනීමට සමාජය සූදානම් විය යුතුය. අප දකින අහන දෙය තුළ ඇති සත්‍ය සොයා ගැනීම වැදගත්ය. එය දුෂ්කරය. මධ්‍යස්ථව සිතා බලා සත්‍ය සොයා ගැනීමට කැපවීමක් අවශ්‍යය. අන්තවාදය තුළ සත්‍ය නැත. මධ්‍යස්ථව හිතන, මධ්‍යස්ථව කටයුතු කරන තැන ඇත.