milinda-prashna

2019/02/27 – ලංකාදීප

ඛනිජ තෙල් අලෙවිය සම්බන්ධයෙන් පනවන ලද මිල සූත‍්‍රය සෑහෙන ආන්දෝලනයකට ලක් විය. ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල හා මෙරට පාරිභෝගිකයන් ඉන්ධන  වලට ගෙවන මිල අතර පැවැති පරතරය යම් ප‍්‍රමාණයකින් පාලනය කරන්නට මිල සූත‍්‍රය ප‍්‍රයෝජනවත් වූ බව සඳහන් කළ හැකිය. මෙරට පරිභෝජනය සඳහා බොරතෙල් හා ඛනිජ තෙල් නිෂ්පාදන විශාල වශයෙන් ආනයනය කෙරේ. දළ වශයෙන් සමස්ථ ආනයන වියදමෙන් හතරෙන් එකකි. බොරතෙල් මිල වැඩි අවස්ථාවක මිල නැංවීමෙන් තොරව පාරිභෝගිකයන්ට සපයන ආණ්ඩුව මිල අඩු අවස්ථාවේ දී එම පාඩුව පියවා ගනිමින් සිටියේය. එය අකාර්යක්ෂමය. වක‍්‍ර ක‍්‍රම හෙයින් අතිරේක පිරිවැයක් එකතු විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඛනිජ තෙල් අලෙවිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මිල සලකා සූත‍්‍රයක් හදන සේ රජයට උපදෙස් සපයන ලද අතර අද භාවිතයට ගැනෙයි. සූත‍්‍රයේ පදනම හෝ එයින් සිදුවන වාසි අවාසි කෙසේ වෙතත් ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩුවැඩි වන ආකාරය ගැන පොදු ජනතාවට කිසියම් අවබෝධයක්  ලැබුණි. තෙල් ගෙන්වීමේ සිට පාරිභෝගිකයා අතට පත්වන තෙක් ක‍්‍රියදාමය තුළ ඇති අකාර්යක්ෂම අංශ වලට ජනතාව ගෙවන බරපතල වන්දියක් තිබේ. එය අවම කරගතහොත් වඩාත් සුදුසුය.

බස් ගාස්තු, සේවක වැටුප් වැඩි කිරීම් සහ ඇතැම් භාණ්ඩ වල මිල සංශෝධනය ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක ද එකඟතා තිබේ. ඒවා නිසි සේ ක‍්‍රියාත්මක කිරීමෙන් විනිවිද පෙනෙන ක‍්‍රමයක් ඇතිවෙයි. අතරමැදියන්ට වාසි ගැනීමට ඇති ඉඩකඩ ඇවිරේ.

විදුලිය බල සැපයුම ද මිල සූත‍්‍රයකට යටත් කිරීම සුදුසුය. විදුලිය නිෂ්පාදනය, බෙදාහැරීම හා බිල්පත් ක‍්‍රමය සංකීර්ණ ස්වභාවයක පවතී. රටට අවශ්‍ය විදුලිය අඩුම වියදමකින් නිෂ්පාදනය කළ යුතුය. ඒකාධිකාරය තුරන් කර නිෂ්පාදන ක‍්‍රම විවිධාංගීකරණයෙන් වඩා වාසි අත්පත් කරගත හැකිය. විදුලිය නිපදවීමට දැවි තෙල් භාවිතය අඩු කළ යුතුය. සූර්ය බලය, ගෑස් හෝ සුලං බලයෙන් අඩු මිලට විදුලිය නිපදවිය හැකි අතර එය පරිසර හානිය ද අවම කරයි. මුහුදු රළ මගින් ද විදුලිය නිපදවිය හැකිය. රටට ඇති ඉල්ලූම සලකා බලා රාජ්‍ය හා පුද්ගලික ආයෝජකයන් ජනන අවස්ථා ඇති කරන අතර ඒවායේ පිරිවැය අනුව පාරිභෝගිකයන්ගෙන් සාධාරණ මිලක් අය කිරීම සුදුසුය.

ඛනිජ තෙල් ක්ෂේත‍්‍රය හැරුණ කොට මෙරට ජනතාවට වැඩිම බලපෑමක් කරන අංශයක් වශයෙන් විදුලිය බල ක්ෂේත‍්‍රය දැක්විය හැකිය. ජනන ක‍්‍රියාමාර්ග වල පවතින දුබලතා හෙයින් නියම කරන මිල ගෙවනු හැර අන් විකල්පයක් පාරිභෝගිකයන්ට නැත. විදුලිය නිපදවන ක‍්‍රම වල විශාල පරිවර්තනයක් සිදුවිය යුතුව තිබේ. එවැනි වෙනස්කම් කරන්නට රජයට ආයෝජන ශක්තිය නැත. දේශීය හෝ විදේශීය දක්ෂ ආයෝජකයන් ගේ හැකියාව උපයෝගී කරගත යුතු අතර එමගින් වෙනස්කම් ඇති වෙයි.

විදුලිය නිෂ්පාදකයන් ගෙන් කරන මිල දී ගැනීම්, බෙදාහැරීමේ පිරිවැය හා රජයේ මැදිහත්වීම නිසි සේ කලමණාකරනය කිරීම සඳහා හොඳ නියාමනයක් අවශ්‍යය. පාරිභෝගිකයා පැත්තෙන් බලා නියාමනයට පියවර ගත හැකි පනතක් සම්මත කර තිබේ. විදුලිය බල ක්ෂේත‍්‍රයේ පැවැත්ම විනිවිද පෙනෙන ආකාරයකට හරවා මිල සූත‍්‍රයක් ඇති කළහොත් බලශක්ති අංශයෙන් දැනට සිදුවන අනිසි තත්ත්ව පාලනය කළ හැකි වනු ඇත. මිල සූත‍්‍රය ඇති කරන අතර, දුෂණ හා වංචා නතර කර කාර්යක්ෂමතාව ඇති කිරීමට පියවර ගත යුතුය. විදුලිය ගාස්තුව ගැන පාරිභෝගිකයා ගේ පැත්තෙන් හිතන්නට අවශ්‍යය.