milinda-prashna

2019/02/06 – ලංකාදීප

 

උණුසුම් කැළඹීම් ගැන රටට අවබෝධයක් තිබේ. ඇතැම් කැළඹිලි විශාල විනාශයකින් කෙළවර වෙයි. පැවැත්ම වෙනස් කරන්නට වරින් වර සිදුවන කැළඹීම් අවශ්‍යය. ඒවා ලේ හලන විප්ලව නොවේ. අලූත් අදහස් අලූත් ආකල්ප වලින් සිදුවන කැළඹීම්ය.

මෙරට සෑම ක්ෂේත‍්‍රයකම පවතින ස්වභාවය තද සම්ප‍්‍රදායික රාමුවක කොටුවී තිබේ. හැත්තෑ එක් වැනි නිදහස් දිනය එයට හොඳ උදාහරණයකි. පෙලපාලි, ආරාධිත අමුත්තෝ, විශේෂ දේශනය, ආචාර වෙඩිමුර සහ සජීවී විකාශ යනාදිය ලබන වසරේ දී ද නොවෙනස්ව  පවතිනු ඇත. ජාතික ද නොඑසේනම් නිදහස් දිනය ද යන්න වැදගත් නැත. අධිරාජ්‍යවාදීන්ගේ ග‍්‍රහණයේ තිබී එයින් ගැලවුණ රටට අලූත් යුගයක් අවශ්‍යය. ස්වෛරීත්වය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ මෙරට මුතුන් මිත්තන් ප‍්‍රාර්ථනා කළේ මොනවාද? විදේශික ආක‍්‍රමණ හමුවේ ජීවිතය නොතකා සටන් කිරීමෙන් අත්පත් කරගත් ජයග‍්‍රහණ ආරක්ෂා කරගන්නට අපට හැකි වී තිබේ ද?

ජාත්‍යන්තරයේ විශාල පරිවර්තන සිදුවෙයි. ඒවා කැළඹිලි වලින් මතුවෙන අලූත් තත්ත්වයන්ය. වෙනස් ආකාරයට හිතන මනුෂ්‍යයන්ගෙන් ලැබුණ දායාද ය. සමුප‍්‍රදායික රාමුවෙන් එපිට ඇති විකල්ප පැති අත්හදා බැලීමෙන් අත්පත් කරගත් වාසි සහගත තත්ත්වයන් ය. බදු අය කරන, බිලක් නිකුත් කරන තරු හෝටල් තිබිය දී, රටින් රට යන  සංචාරකයෝ සෘජු සම්බන්ධතා අනුව කොතැනක හෝ ඇති නවාතැන් පොලක නතර වෙති. මුළු ලෝකයටම එය ප‍්‍රශ්නයක් වී තිබේ. නමුත් එය අලූත් ව්‍යුහයකි. එයාර් බී ඇන්ඞ් බී යනුවෙන් අන්තර් ජාලයේ ඇති සේවා අනුව පිරිවැය පැත්තකින් තබා සංචාරයේ යෙදෙන අවස්ථාව ලැබී තිබේ.

කාගේවත් අනුදැනුමක් නැතිව කෙලින්ම වාහනයක් කුලියට ගන්නට අවස්ථාව හැදී තිබේ. ඌබර් ටැක්සි ආණ්ඩුවල අණ පනත් හා නීති වලට එපිටින් මගී ප‍්‍රවාහනයෙහි යෙදෙයි. සමාජ මාධ්‍යයෙහි ඇප් වර්ග ගණනාවක් තිබේ. රටින් රට කතා කරන්නට බදු අය කරන, සංඥා කුළුණු හරහා පරීක්ෂා කරන තත්ත්ව මග හැර සෘජු කථෝපකතනයට ඉඩ දී ඇත. වෙළඳාම අතරමැදියන්ගෙන් ගිලිහී යමින් තිබේ. ලෝකයේ වෙනත් කෙළවරක සිටින ගැනුම්කරුවා කෙලින්ම නිෂ්පාදකයා හා කතාකර තමන්ට ගැලපෙන දේ ඇනවුම් කරන්නට නැඹුරු වී ඇත. එයට මුදල් ගෙවන්නේ සුපුරුදු වානිජ බැංකු වලින් පිටස්තර මුදල් හුවමාරු ක‍්‍රම වලින්ය. මෙවැනි සිදුවීම් ලෝකයේ මෑත කාලය තුළ ක‍්‍රමය වෙනස් කරනු සඳහා ඇති වූ කැළඹීම්ය.

ඉදිරි දශකය හෝ දෙක ඇතුලත පැවැත්ම තවත් වෙනස් විය හැකිය. රෝහල වෙනුවට කෙලින්ම රෝගියා හා වෛද්‍යවරයා හමුවී ප‍්‍රතිකාර ගැනීම සිදුවිය හැකිය. රියැදුරෙකු නැති එපමණක් නොව එන්ජිමක් ද නැති වාහනයක් මගී ප‍්‍රවාහනයේ යෙදෙනු ඇත. එයට බලය ලැබෙන්නේ කෙලින්ම හිරැ එලියෙන්ය. පස් වන පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණය උපයෝගී කරගෙන සියළුම දෙනා එකිනෙක මෙවලම් හා සම්බන්ධ වන අතර අත රැ‍ගෙන යන ස්මාට් දුරකථනය ඉතාම බලවත් මෙහෙයුම් යන්ත‍්‍රය බවට පත් වෙයි. මෙම පැවැත්ම වෙනස්වන පැති සමග එන කැළඹීම වැදගත්ය.

පවතින ව්‍යුහය කළඹා අලූත් දේ මතුකර ගන්නට අවශ්‍ය ලිහිල් පරිසරය සකස් කිරීම පාලකයන්ගේ වගකීමකි. නිදහස උත්සවාකාරයෙන් සමරන ශ‍්‍රී ලාංකිකත්වයේ සම්ප‍්‍රදාය පැත්තකට කළ යුතු නැත. තද නීති, විධි විධාන, පැලැන්ති ප‍්‍රශ්න සහ නිලධාරීවාදය ජනතාවගේ සීතල කැළඹීම් වලට අවහිර කර තිබේ. අන්තිමේ දී ඒවා උණුසුම් කැළඹිලි වශයෙන් පුපුරයි. නිදහසින් පසු රට තුළ පැන නැගුණ විප්ලව හා ඒවායෙන් ගලාගිය රුධිරය අවස්ථා අහිමි සමාජයක ස්වභාවය පෙන්වයි. හැත්තෑ දෙවැනි නිදහස් දිනය වන විට අලූත් වෙනස්කම් සහිත සමාජයක් ගොඩනැගීම අප සියළුම දෙනාගේ අධිශ්ඨානය විය යුතුය.