milinda-prashna

2017/01/30 – ලංකාදීප

ගොවි ජනතාව දුෂ්කරතාවයකට පත් කර ඇති සේනා දළඹුවාගේ ආක‍්‍රමණය පහසුවෙන් පැත්තකට කළ හැකි දෙයක් නොවේ. ගොවි ජනතාව බලවත් පීඩනයකට පත් ව ඇත. බඩ ඉරිගු වගාව මාස තුනකට නතර කරන තීරණයක් ගෙන තිබේ. ගොවිතැනෙන් යැපෙන දස දහස් සංඛ්‍යාත ගොවියෝ මුහුණ දී ඇති විපත ඉතාම සංකීර්ණ එකකි. වන්දි ගෙවීම හෝ වගා නොකිරීම අත්හිටුවන ගොවියන් වෙනුවෙන් සහන සැපයීම ගැන කතාකරනු ඇත. මැති ඇමැතිවරු ගොවියන්ට සහන දෙන ආකාරය ගැන හා විපක්ෂයේ මහජන නියෝජිතයෝ එහි අසාර්ථක පැති ගැන විශාල ආන්දෝලනයක් ඇති කරමින් සිටී.

මෑත කාලය තුළ මතුවන හෝ මතුකරන සිද්ධි වලින් ආණ්ඩුව සිය වාසියට හරවා ගන්නා ස්වභාවයක් නිරීක්ෂණය කළ හැකිය. බඩ ඉරිගු  ගොවියාගේ ගැටළුව සමාජයේ එක කොටසකට බලපාන බරපතල ප‍්‍රශ්නයකි. නමුත් එය සමස්ථ සමාජයේ සෑම අංශයකම අවධානය පැහැර ගෙන තිබේ. එකක් ඉදිරියෙන් තබා අනෙක් කාරණා ආවරණය කිරීම පාලකයන් ගේ දක්ෂතාවයකි. ‘‘බ්‍රෙඞ් ඇන්ඞ් සර්කස්’’ ක‍්‍රමයේ නවීන පිලිවෙල බව නිරීක්ෂණය කළ හැකිය. පුරාණ රෝම පාලකයෝ විශාල රංග ශාලා වල බිහිසුණු සටන් සංවිධානය කළහ. ප‍්‍රචණ්ඩ සතුන් සහ මිනිසුන් අතර බිහිසුණු සටන් නිතර පැවැත්වූහ. රඟහලේ ඉහළ මාලයේ පාලකයෝ මිදි යුෂ බී මහත් සංතෝෂයෙන් සටන් නරඹන අතර පහල මාලයේ ප‍්‍රීති ඝෝෂා නැගූවෝ සාමාන්‍ය දුප්පතුන්ය. සංදර්ශනයෙන් සිත් ඇලලී ගිය වැසියෝ පාන් කා නින්දට යති. සර්කස් පෙන්වන පාලකයෝ ජනතාව නිහඞ කළේය. ක‍්‍රමය වෙනස් වී නැත. ජනතාවට සර්කස් දක්වන පාලකයෝ දැවෙන ජනතා ප‍්‍රශ්න අමතක කර තිබේ.

මෑත කාලයේ ආණ්ඩු අලූත් යමක් කළේ නැත. ජනතාවගේ  ජීවිත වලට දැනෙන වෙනසක් සිදුවිය යුතුය. ශ‍්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතය හෙම්බත් වී ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට මහන්සිය දැනේ. එකම චක‍්‍රය ජීවිතයට විඩාවකි. ධෛර්යය හා ආත්ම ශක්තිය හීන  කර තිබේ. ජනතා අවධානය අනෙක් පැත්තකට යොමු කරනු අරමුණ කරගෙන කරන සංදර්ශන එමටය. නූතන ජනමාධ්‍ය ව්‍යුහය පවා එයට ගොදුරු වී තිබේ. වෘත්තීය විශේෂඥ මත වෙනුවය ආන්දෝලනාතාමක පුහු නෙතාන්දර වලට නතු වී ඇත. කලින් කලට එන රුළි ගොඩනගන්නේ කාගේ උවමනාවකටද?

දූෂණ හා වංචා ගැන, ව්‍යවස්ථාවේ  කරුණක් පිලිබඳව, පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටි, ඝාතන හඞ පට, මත් ද්‍රව්‍ය, උතුර නැවත කලබල කිරීම, ආගම් අතර ප‍්‍රශ්න, ඉන්දියානු ආක‍්‍රමණ, චීනයේ මැදිහත්වීම්, ඇමරිකානු කඳවුරු යනාදිය අතර සේනා දළඹුවා ද කලින් කලට එන රැළි අතර නැගී එන එක රැල්ලකි. තවත් සතියකින් හෝ දෙකකින් සේනා දළඹුවාගේ ප‍්‍රචාරයේ තීව්රතාවය අවම වනු ඇත. එයින් පසු අනෙකක් නැගී එන්නඩ ඉඩ සලසනු නිසැකය.

සේනා දළඹුවා ගැන තොරතුරු අනුව මැති ඇමැතිවරු මාධ්‍ය වල අවස්ථා ලබා ගෙන තිබේ. විපක්ෂය විශාල විනාශයක් යැයි කියන්නට පටන්ගෙන තිබේ. දළඹු හානිය මැඩ පවත්වනු සඳහා එයින් ලැබෙන ප‍්‍රයෝජනය කුමක්ද? ප‍්‍රශ්නයක් ඇති වූ වහා නිසි පිලියම් යොදා අභියෝගයක් සේ භාර ගැනීම එකකි. පාලකයෝ කළ යුතු එයයි. මෑත කාලය තුළ අර්බුදයක් පැන නැගුණ වහා මාධ්‍ය හමු පවත්වනු හැර අනෙකක් සිදු නොවේ. දළඹුවාගේ හානියට වඩා විශාල මත කැළඹවීමක් සිදුවී ඇත. එය ගෝසාවක් මතු කර ඇති අතර මාධ්‍යයට කතා කිරීමෙන් පසු වගකීම ඉටු කරන ලද බව හිතන ක‍්‍රමයක් ගොඩ නැගී තිබේ.

නූතන ව්‍යුහය අවබෝධ කරගැනීම වැදගත්ය. එක ප‍්‍රශ්නයක් නැගී ඉදිරියට එන අවස්ථාවේ දී අනෙක් පොදු ප‍්‍රශ්න අමතක කරන්නට ඉඩ දිය යුතු නැත. ගමනාගමනය, පාසල, අධ්‍යාපනය, ආර්ථිකය, ජනතාව මත පැනවී ඇති බදු, කාලගුණ වෙනස්වීම යනාදී වශයෙන් කඩිනමින් විසඳාගත යුතු අර්බුද සෑහෙන ප‍්‍රමාණයක් අප ඉදිරියේ තිබේ. එකී අර්බුද ලිහා ගන්නට නිසි ක‍්‍රමවේදයක් රටට නැත. දේශපාලනය අසමත්ය. පාලකයෝ වෙනස් කිරීමෙන් ජනතා පීඩනය තුරන් නොවේ. අලූත් මුහුණු තෝරා ගැනීමෙන් උත්තර නොලැබේ. රට වෙනුවෙන් අලූත් දර්ශනයක්, අලූත් වැඩ පිලිවෙලක්  ඕනෑ කර තිබේ.