milinda-prashna

2018/12/05 – ලංකාදීප

හැසිරීම අනුව අං ඇති අයවලූන් බව පෙන්වන අය සිටිති. අං පටලවා ගන්නා අවස්ථා ද තිබේ. මුලින් තිබුණ කණට වඩා පසුව ආ අඟ ලොකු වූ බව සඳහන් වන ව්‍යවහාරයක් ද ඇත. මෑතක දී අං ඇති සතුන්ගේ පැවැත්ම ගැන ජනමත විචාරණයක් ස්විට්සර්ලන්තයේ දී පැවැත්විණ. එය ලෝකය පුරා ආන්දෝලනයකට ලක් වූ එකකි.

සත්ව පාලනයෙහි නිතර ස්විස් ගොවියෙකු ගවයන්ගේ හා එළුවන්ගේ අං කපා දැමිය යුතු යැයි යෝජනා කළේය. එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව පුරවැසියෙකුට පවා ජනමත විචාරණයක් යෝජනා කළ හැකිය. තීරණයක් ගත හැකි යෝජනාවක් මූලික විධි විධාන අනුව ආණ්ඩුවට ඉදිරිපත් කළ හොත් ජනමත විචාරණයක් පැවැත්විය යුතුය. මාස හයක් ඇතුලත එකතු කළ අත්සන් ලක්ෂයක් සහිත පෙත්සමක් භාර දීම එහි මූලික අවශ්‍යතාවයයි.

උතුරු ස්විට්සර්ලන්තයේ සත්ව පාලනයෙහි නිරත ආර්මින් කාපුවෙල් සිය ගොවිපොලෙහි ඇතිකරන ගවයන් නිතර අං පටලවා ගැනීම නිසා හෙම්බත් වී සිටි අයෙකි. නොසන්සුන් ගවයෝ අං වලින් කරන ප‍්‍රහාර නිසා ඇතිවන තුවාල වලට ප‍්‍රතිකාර කිරීම විශාල අතිරේක කාර්යයක් විය. ඔහු ගේ ගොවිපොල පමණක් නොව රටේ සෙසු සත්ව පාලනයෙහි නිරත අය වෙනුවෙන් ද මතයක් ඇති කරන ආර්මින් ගවයන් හා එළුවන්ගේ අං කප්පාදු කළ යුතු යැයි කියා සිටියේය. නැතිනම් ජාන වෙනස්කම් වලින් අං නැති ගවයන් බෝ කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. එය විශාල ව්‍යාපාරයක් විය අත්සන් ලක්ෂයක් එකතු කරගත හැකි වූ අතර ජනමත විචාරණයකට යොමු කෙරිණි.

ජනමත විචාරණයේ දී යෝජනාවට පක්ෂව සියයට හතලිස් අටක ඡුන්ද ප‍්‍රතිශතයක් ලැබුණ අතර සියයට පනස් දෙකක පමණ පිරිසක් විරුද්ධ වී තිබුණි. සත්ව අයිතිය වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමි අං කපා දැමීමෙන් සතුන්ට වන හිංසා ගැන ප‍්‍රචාරයක් ගෙන ගිය අතර අඟ කපා දැමීම සුදුසු නැති බව එකහෙලා කියා සිටියේය. ජනමත විචාරණයෙන් පරාජය වූ සත්ව ගොවිපොල හිමි ආර්මින් කනස්සල්ලට පත් වූයේ නැත. ලැබුණ ඡුන්ද ප‍්‍රමාණය ගැන උදම් වී සිටියේය.

ගවයෙකුගේ අං කපා දැමීමට ඇති අයිතිය ගැන ජනමත විචාරණයකින් තීරණය කිරීම වැනි සිද්ධියක් ශ‍්‍රී ලංකාවේ වැනි අපට වැදගත් වන්නේ කෙසේද? කිරි හා සත්ව නිෂ්පාදනයෙහි නිරත වැඩිම පිරිසක් සිටින ස්විට්සර්ලන්තයේ, ගොවියන්ට එය වැදගත් යෝජනාවක් නමුත් අපට එය නුහුරුය. නමුත් සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තරම ආදර්ශයට ගත යුතුය. එය බලවත්ය. සාමාන්‍ය ජනතාවට පවා ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබේ.

පොදු ජනතාවට බලපාන ප‍්‍රශ්න වල දී පොදු තීරණ ගැනීමට ආණ්ඩු පොළඹවනු සඳහා ජනමත විචාරණය ඉතා හොඳ පදනමක් සපයයි. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පවතින රටවල ජනතාවට හිමි පරමාධිපත්‍ය මෙයින් සංකේතවත් කෙරේ. නොබෝදා තායිවානයේ ජනමත විචාරණයක් කළේය. එහි ප‍්‍රතිඵලය ආණ්ඩුවට අවාසි සහගත එකක් විය. ජනතාවගේ කැමැත්තට ආණ්ඩුව අවනත විය. ස්විට්සර්ලන්තයේ ව්‍යවස්ථාව පරිදි ලක්ෂයක ජනතාවක ගේ අත්සන් එකතු කළහොත් ජනමත විචාරණයක් පැවැත්විය හැකි ක‍්‍රමයක් ශ‍්‍රී ලංකාවටත් යෝජනා කරන්නට බැරි නැත. නමුත් මෙරට ජනතාවට හෝ ජනතා සංවිධාන වලට මුලික අවශ්‍යතා හෝ සමාජයේ ගත යුතු තීරණ ගැන එකඟවන සංයමයක් තිබේද? හැම තැනින්ම යෝජනා ඉදිරිපත් වෙන්නට ඉඩ තිබේ. ඒවා ගැන සාකච්ඡා කරන විශාල සංවාද ඇතිවිය හැකිය. ජනමත විචාරණයක් පැවැත්වීමට විශාල ධනයක් යොදවන්නට සිදුවෙයි. දියුණු රටවල් වල පවා ඒ වෙනුවෙන් වැය කරන සම්පත් ප‍්‍රමාණය ඔවුන්ට දරාගැනීම පහසු නැති බව පෙනේ.