milinda-prashna

2018/11/28 – ලංකාදීප

අභ්‍යවකාශයේ හා ගැඹුරු සාගර පත්ලේ නවාතැන් ඉදිකරන්නට සැලසුම් කරන නවීන යුගයක් උදා වී තිබේ. එවැනි පරියේෂණ අතරතුර අලූත් අදහස් වලට ලෝකයේ උසස් පිලිගැනීමක් ලැබෙන අවස්ථා ඇත. නොබෝදා ජාත්‍යන්තර ඉදිකිරීම් තරගයක දී වැඩිම ප‍්‍රසාදයට පත්ව පළමු තැන ගත්තේ උතුරු බ‍්‍රසීලයේ අලූතින් ඉදිවූ පාසල් ගොඩනැගිල්ලකි. එය දුෂ්කර ප‍්‍රදේශයක කාගේවත් ඇස නොගැටුණ තැනකි. පාසලට ආධාර කරන පිරිස නව ගොඩනැගල්ලක් ඉදිකරන තීරණයකට එළැඹ එයට ආධාර එකතු කළේය. නවක ගෘහ නිර්මාණ ශිල්පිහු දෙදෙනෙකුට අවස්ථාව ලැබුණි. ඇල්ෆා සහ මාර්සෙලෝ යන දෙදෙනා ප‍්‍රදේශයේ ආවේනිකත්වය අනුව දරුවන්ගේ නවාතැන සැලසුම් කළහ.

වනාශි‍්‍රත ප‍්‍රදේශයෙන් යූකැලිප්ටස් කඳන් සොයාගත්හ. එහි ම තිබුණ මැටි වලින් බිත්ති ගොඩනංවන්නට තීරණය කළේය. අතව්‍යශ්‍ය වූ වහල හා ඒවා සවිකරන කොටස් හැරෙන්නට අනෙක් සියළු දේ අවටින් සපයා ගත හැකි පරිදි නිර්මාණය කරන්නට සමත් විය. විශාල ඉඩකඩක් ඇති පරිදි සකස් කරන ලද අතර වාතාශ‍්‍රය මැනැවින් තිබුණ බැවින් වායු සමන යන්ත‍්‍ර කිසිසේත් අවශ්‍ය වූයේ නැත. සැලසුමෙහි තවත් විශේෂත්වයක් තිබේ. ඔවුහු මෙම සැලැස්ම අඳීන්නට කලින් එහි ශිෂ්‍ය ප‍්‍රජාව සමග දවස් ගණනක් ගත කර එම දරු දැරියන්ගේ උවමනා එපාකම් ගැන හොඳීන් අවබෝධ කරගෙන ඇත. දරුවන්ට කෙලි සෙල්ලමෙන් පසුවෙන්නට පමණක් නොව තමන්ගේ ගෙදර යැයි හිත හදා ගන්නට හැකි පරිසරයක් එම අලූත් ගොඩනැගිල්ලේ තිබුණි.

බ‍්‍රසීලයේ පාසල් දරුවන්ගේ නවාතැන ලෝක සම්මානයට පාත‍්‍රවීම තුළින් අපට උපයා ගත හැකි ආදර්ශයක් තිබේ. පරිසරයට උචිත සේ තැනෙන නිවහනකින් ජන සමාජයට ලැබෙන අවස්ථාවයි. ශ‍්‍රී ලංකාවේ පැරණි නිවාස ඉදිකිරීම ගැන විශාල අධ්‍යයනයක් කළ හැකිය. එහි ඉපැරණි සම්ප‍්‍රදාය හා සිරිත් විරිත් තිබේ. නිවසක් ඉදිකරන විට උපයෝගී කරගන්නා දැව දඬු වල සිට සියළු අමුද‍්‍රව්‍ය සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ති තිබුණි. නිවසක වහල පිහිටීම, උළුවහු ජනෙල් පිහිටුවන ආකාරය ගැන ශ‍්‍රාස්තී‍්‍රය විධි තිබේ. නිවසක් තැනීම සඳහා සුසුසු භූමිය තෝරා ගැනීම ද විශේෂ ශාස්ත‍්‍රයකි. සැලසුමක් ඇඳ ජීවත්වන ගෟහ මූලිකයාට ගැලපෙන පරිදි වාස්තු විද්‍යාත්මකව නිවස ඉදිකළේය.

වර්තමානයේ මෙම පැති අමතක වී තිබේ. නිවස යනු ජීවත්වන තැනක් නොව තමන්ගේ වත්කම පෙන්වන සංකේතයකි. එහි අවටින් සොයා ගන්නා දේ නැත. ඇත්තේ ලෝකයේ නොයෙක් තැන් වලින් ආනයනය කරන ලද ගොඩනැගිලි ද්‍රව්‍ය බව සඳහන් කළ යුතුය. තමන්ගේ මහේශාඛ්‍ය භාවයත්, වත්පොහොසත්කමත් පෙන්වන්නේ නිවසෙහි භාවිතා ඇති බිම් අතුරන ලද ටයිල් වලින් හා නාන කාමර වල ඇති මෙවලම් වල වටිනාකමෙන් බව පෙනේ. නිවාස  ඉදිකිරීමට අති විශාල මුදල් සම්භාරයක්  වියදම් කරන අතර එය විශාල තරඟයකි. අවසානයේ දී තමන්ගේ නිවස ජීවිත කාලයටම ඉදිකරගක නොහැකි බරපතල කර්මාන්තයක් බවට පත් කරගෙන ඇත.

පොදු ගොඩනැගිලි පවා අති විශාල ඉදිකිරීම්ය. ඒවා තැනෙන්නේන ප‍්‍රකට ගෘහ නිර්මාණ ශිල්පීන් ගේ දස්කම් අනුව විනා ඒවායේ ජීවත්වන්නට අපේක්ෂා කරන අය ගේ අදහස් අනුව නොවේ. දරුවන්ගෙන් නොවිමසා පාසල් ගොඩනැගිල්ල නිර්මාණය වන අතර කාර්යාලය හැදෙන්නේ වැඩ කරන අය ගේ අවශ්‍යතාව අනුව නොවේ. ඒවා හතරවටින්ම වටකර අවසානයේ දී වායු සමීකරණ යන්ත‍්‍රවලින් ජීවත්වීමේ පහසුව සලස්සවයි. ගහ කොළ හා ස්වභාවික පරිසරය නිසා අතිශය ඉහළ පිලිගැනීමටක් ඇති රටට වාසස්ථාන අරභයා අලූත් දැක්මක් ගොඩනගා ගැනීමට නොහැකි වී ඇත. මෙම ස්වභාවය අවධානයට ගත යුතුය. බ‍්‍රසීලයේ පාසල් ගොඩනැගිල්ල ලෝක අවධානය ගත්තේ ඇයි දැයි හිතා බැලීම වැදගත්ය.