milinda-prashna

2018/11/21 – ලංකාදීප

මෑත කාලයේ ශ‍්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය අපේක්ෂා නොකළ වෙනස්කම්වලට ලක්විය. ව්‍යවස්ථාදායකය හා විධායකය අතර තීරණ නොගැලපීමක් වාර්තා වී තිබේ. පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ බලය අධිකරණය තුළ තර්ක කරන තත්ත්වයක් පැන නැගී ඇත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. බි‍්‍රතාන්‍යයට යටත් ව තිබුණ රට නිදහස ලබන විට සර්ව ජන ඡන්ද බලය ලැබුණි. ඡන්දයෙන් තෝරා ගන්නා නියෝජිතයෝ පාලනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකි.  ව්‍යවස්ථාවක් රහිත බි‍්‍රතාන්‍ය ලංකාවට ව්‍යවස්ථාවක් හදා පාලනය භාර දුන්නේය. 1931 වසරේ සිට අද දක්වා මහජන ඡන්දයෙන් පත් කරන ජනතා නියෝජිත පාලනය ගැන අත්දැකීම් ඇත. ලිඛිත ව්‍යවස්ථාවක් නොතිබුණ බි‍්‍රතාන්‍ය පාලන ක‍්‍රමය සම්ප‍්‍රදායට අනුව කරගෙන ගියේය. බුද්ධිමත් දාර්ශනික අදහස් ඇති පරපුරක් ක‍්‍රමය නිර්මාණය කළේය. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පවා ස්ථාවර නියෝග 1600 ගණන් වල සිට භාවිතා වී තිබේ. ඒවා සකස් කළේ පාලනයේ පහසුව සඳහා විනා අර්බුද ඇති කරගන්නට නොවේ.

නොයෙක් අවස්ථාවල මෙරට පැවැත්ම දෙස් විදෙස් අර්බුද වලට මුහුණ දී ඇත. ඒවා ස්ථානෝචිතව විසඳා ගෙන තිබේ. ගැඹුරින් හිතන පරිනත නායකයෝ ප‍්‍රායෝගිකව කටයුතු කර ඇත. බලය සඳහා කරන අරගල වලකා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරනු සඳහා තීරණ ගෙන ඇති බවට සාක්ෂි තිබේ. දේශපාලනඥයන් සමග කටයුතු කරන බුද්ධිමත් පාර්ශව නිසි උපදෙස් දී ඇති අතර එම උපදෙස් අනුගමය කිරීමෙන් විපත් වලකා ගත් බව සඳහන් කළ යුතුය.

රටක් පාලනය කරන්නට ඉවහල් වන ව්‍යවස්ථා වල වගන්ති තිබේ. ඒවායෙන් අරමුණු කරන පරමාර්ථ ඇත. අධිකරණයෙන් හෝ ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කරන්නේ යුක්තියයි. ව්‍යවස්ථාව හා අධිකරණ නීති වගන්ති පරාජය කර දේශපාලන ආකෘතිය සමාජය ආක‍්‍රමණය කර ඇති බව පෙනේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සමාජය දරුණු ලෙස බෙදී ඇත. ජාති, ආගම් වශයෙන් බෙදී අන්තවාදය පතුරවන ස්වභාවයක සිටී. අන්තවාදී සිද්ධි වරින් වර පුපුරා යන පසුබිමක් තිබිය දී දේශපාලන අර්බුදය මෙරට ජන සමාජය ඉතා ව්‍යසනකාරී තැනකට යොමු කරවමින් සිටින බව තේරුම් ගත යුතුය. ජන නායකයෝ මෙරට පවත්නා පැටලිලි සහගත ස්වභාවය නිරාකරණය කරගැනීමේ මග සොයා ගත යුතුව තිබේ.

බෞද්ධ සාහිත්‍යයේ එන උම්මග්ග ජාතකය මෙවැනි ගැටළු අවස්ථාවක එය නිරාකරණය කරගත් ආකාරය ගැන සාක්ෂියක් සපයයි. එහි එන වේදේහ රජු බලයෙන් මත් වී සිටී. මහෞෂධ පණ්ඩිතයෝ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරති. නමුත් වේදේහ රජුට සිටින ඇමැතිවරු සතර දෙනෙකු රජු ලෙන්ගතු බසින් රටවා මුදුන් අත්තෙහි තබා යැපෙන පරමාර්ථයෙහි සිටිති. අසල්වැසි රටක උපක‍්‍රමයකට වැඩි දුර නොසිතා හසුවන වේදේහ රජු ගලවා ගන්නේ මහෞෂධ ගේ දුර දක්නා නුවණින්ය. උම්මග්ග ජාතකයෙහි කියැවෙන පරිදි සතුරු උගුලෙහි හසු වී එයින් ගැලවිය නොහැකිව උමගකින් බඩ ගා ගොස් ගැලවෙන අරමුණින් සළු පිලි සකස් කරගන්නට සැරසෙන රජු මහත්  ආශ්චර්යවත්ව තැනූ උමගකින් කැටුව යයි.

නූතන තාක්ෂණ යුගයේ දේශපාලන අර්බුදයන් හි දී උගුල් කැන ඒවායෙන් රිංගා ගැලවිය නොහැකිය. යතාර්ථයට මුහුණ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසදුම් වලින් නිසි පිලිවෙල සකසා ගත යුතුය. ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට මහෞෂධ උපදේශකවරුන්ගේ ප‍්‍රායෝගික උපදෙස් අවශ්‍ය වී ඇත. දේශපාලන නායකයන් ද කාවින්දය, දේවින්දය ආදී වශයෙන් තමන් වටා ගැවසෙන බලය ආරක්ෂා කරගැනීමට පටු අදහස් ඇතිව උපදෙස් දෙන අය හැර නිසි මග දක්වන මහෞෂධයෝ ඇත්දැයි සොයා බලා උපදෙස් ගැනීම අවශ්‍ය කර තිබේ.

උම්මග්ග ජාතකයේ මෙන් එක යතුරක් එබූ පමණින් සියළු දොරටු විවෘත වන හෝ විදුලි පහන් දැල්වී ආලෝකවත් වන අපූරු විසදුම් දැන් උදා වී ඇති දේශපාලන අර්බුදයට නැත. බෙදීම් අමතක කර එකතු වී නිසි උපදෙස් අනුව නැගී සිටියහොත් සාර්ථක විසදුමක් නිර්මාණය කරගත හැකිය.