milinda-prashna

2018/11/07 – ලංකාදීප

ශ‍්‍රී ලංකාවේ දේශපාලනය ගැන පවතින අලූත් තත්ත්වය ජාත්‍යන්තර අවධානය දක්වා විහිදී තිබේ. තිතිපතා එන අලූත් විත්ති කෙරෙහි පොදු ජනතාව තුළ නොනිත් කුතුහලයක් ඇත. පක්ෂ මාරු කිරීම එක කොටසකට අනුව පිලිකුල් සහගතය. තවත් කොටසකට එවැනි දේශපාලනඥයෝ මහා වීරයන් බවට පත්ව ඇති බව පෙනේ. දේශපාලන පක්ෂ තුළ සිදුවන විපර්යාස, ආණ්ඩුවේ ආයතන වල කරන අලූත් පත් කිරීම්, ඒවායේ සිදුවන පිලිගැනීම් හා සමාන ප‍්‍රමාණයකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සිදුවූ හානිය, එය ආරක්ෂා කරගැනීමට දරන ප‍්‍රයත්න සහ විරෝධතා යනාදිය ද සමාජ ආන්දෝලනය තීව්ර කර තිබේ.

ජනතාවගේ හිත් තුළ පැසවමින් තිබුණ එදිනෙදා ප‍්‍රශ්න සහමුලින්ම අමතක වී ඇත. මෙරට බහුතරයක් දෙනා උදේ හවස ගමන් කළේ පහසුවෙන් නොවේ. දුම්රියේ හෝ බස් රියේ එල්ලී නිවසින් කාර්යාලයටත් කාර්යාලයේ වැඩ අවසන් කර නැවත නිවසටත් කළ එම ගමන අතිශය කටුක එකක් බව කිව යුතු නැත. දරුවන් ගේ පාසල් ගමන පවා මහ මගට විශාල වේලාවක් ගත කරන එකක් විය. පාසල් අධ්‍යාපනය අවසානයේ දී ගැලපෙන රැකියාවක් ගැන නිශ්චිත අදහසක් නොතිබුණ බව නිසැකය. කෙසේ හෝ රට හැරයාම මෙරට තරුණ පෙළ තුළ පවතින පොදු සිහිනයකි. දේශපාලනඥයන් ගේ බල හුවමාරුවෙන් පිහිටුවන ලද අලූත් ආණ්ඩුවෙන් සාමාන්‍ය පොදු ජනතාවට ලැබෙන්නේ මොනවාද? රට තුළ සාකච්ඡා විය යුතු වැදගත්ම ප‍්‍රශ්නය එයයි.

යහපාලනය ගැන විශාල බලාපොරොත්තු තිබුණි. ක‍්‍රමය වෙනස් කර ජීවන පැවැත්ම නව මාවතකට යොමු කරනු ඇතැයි ජනතාව කල්පනා කළේය. දුෂණ හා වංචා තුරන් වූ සමාජයක යුක්තිය ඉශ්ඨ වනු ඇතැයි සිතා සිටියේය. අඩුම තරමින් සැනසිල්ලේ ජීවත්වෙන්නට සුදුසු වටපිටාවක් අපේක්ෂා කළේය. ඒවා ලැබී තිබේද? නිදහස ලබා ගත වූ දශක හත තුළ දේශපාලනඥයෝ උස් පුටුවල හිදුවා අත්පොලසන් දෙනු හැරෙන්නට වෙනත් යමක් මෙරට සාමාන්‍ය රටවැසියන්ට ලැබී නැත. එය බරපතල අභාග්‍යයකි. නිදහසේ පළමු පරම්පරාව විශාල රැවටිල්ලකට ගොදුරු වූ අතර මෙරට දේශපාලන ක‍්‍රමය, එය නිර්වචනය කරන අන්දම දකින විට අවසානයක් පෙනෙන්නේ නැත. බල ලෝභී ආත්මාර්ථකාමී නායකයෝ විනා ජාතික අවශ්‍යතා සලකා රට ගොඩ නගන්නට කැපවන චරිත ඉතා දුලබය.

නීතියෙන් රටට යහපතක් කරගත හැකි නම් හොඳම නීතිය පමණක් නොව ඉතාම බලවත් නීතිවේදීහු ද අපට සිටිති. සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගෙන එයට අනුව හැඩ ගැසෙන්නට හැකිනම් රටට අවශ්‍ය කරන තරමටත් වඩා පණ්ඩිත ප‍්‍රතිපත්ති සම්පාදකයෝ ඇත. ශ‍්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් හෝ වාසනා ගුණය ලෝකයේ අන් රටවලටත් වඩා වැඩි පුර තිබේ. මානව සම්පත ද බුද්ධිමත් හා කැපවීමෙන් යුක්තය. ලෝකයේ නොයෙක් රටවලට ගොස් දැනුම අනුව වැඩ කරන දක්ෂ පිරිසක් රටට සිටින අතර එය මානව සම්පත සම්බන්ධ ප‍්‍රබල සාක්ෂියකි. ඒ අනුව සලකන විට රටට සිදුව ඇත්තේ කුමක්ද? මෙපමණ සම්පත් හා මෙපමණ දාර්ශනික ශක්තියක් ඇති රටක් අප‍්‍රමාණ ගැහැට විඳින ජනතාව ජීවත්වන තැනක් බවට පත්වූයේ ඇයි? දණ්ඩක් නමුත් පැලවෙන බව පමණක් නොව අල්ලක් වවා මල්ලක් ගෙට ගන්නට හැකි බව ප‍්‍රකාශ වූ භූමිය අද හැම තැනකින්ම ඇසෙන පාඩු හා අලාබ වලින් පමණක් සමන්විත වී තිබේ.

බලයේ සිටින ආණ්ඩුව අයිති කවර පාර්ශවයකට ද යන්න වැදගත් නැත. ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුය. අතින් එලවලූ හාල් සහිත ෂොපිං බෑග් එකක් එල්ලාගෙන අපහසුවෙන් බස් රියේ පාපුවරුවේ යන වැසියා ගේ හෙට දවස ගැන අවධානය යොමු කරන වගකීමක් ජන නායකයන්ට තිබේ. ඊයේ අහසින් ගිය නායකයා වෙනුවට අද අහසින් යන නායකයා වෙනස් කිරීමෙන් හිස් අහස දෙස බලා ඉන්නා ජනී ජනයාගේ ප‍්‍රශ්න විසඳීය හැකිද? පවතින ක‍්‍රමය වෙනස් කිරීමට නායකත්වය ගත යුතු යුගය උදා වී ඇත.