milinda-prashna

2018/10/24 – ලංකාදීප

කඨින චීවර පූජෝත්සව සමය එළැඹ තිබේ. බොදුනුවන්ට අනුව මහා සංඝරත්නය වෙනුවෙන් කඨින චීවරයක් පූජා කිරීමට ලැබෙන අවස්ථාව මහත් භාග්‍යයකි. විහාරස්ථානයේ සියළු උපාසක උපාසිකාවන් එකමුතුවෙන් මහා උත්සවාකාරයෙන් කඨින පූජාව සංවිධානය කෙරෙති.

වැසි සහිත මාස හතරෙන් අවසාන මාසය චීවරදාන සමයයි. ශික්ෂා පද ආරක්ෂා කරමින් වස් කාලයේ දී වැඩ වසන භික්ෂූන් වහන්සේලා ගේ වස් පවාරන විනය කර්මයෙන් අනතුරුව කඨිනස්ථාරය නම් විනය කර්මය සිදු කිරීමට අවස්ථාව උදාවන බව දැක්වෙයි.

සමාජ සහ ආර්ථික ව්‍යුහය පරිවර්තනය වන ස්වභාවය අනුව විහාරස්ථානයේ සිදුකෙරෙන කඨින පූජෝත්සවය හා සමාන මහෝත්සවයක් ගිහිගෙය තුළ සිදු කළ යුතුව ඇති බව නිරීක්ෂණය කළ හැකිය. එය වැඩිහිටි සත්කාරයයි. ශ‍්‍රී ලංකාව මැදි ආදායම් රටක් වන නමුත් මෙරට ජනගහන රටාව දියුණු රටක තත්ත්වයක බව වාර්තා දක්වයි. තරුණ ජනගහනයට වඩා වැඩිහිටි ජනගහනය ප‍්‍රතිශතයක් වශයෙන් ඉහළය. එක නිවසක උපයන දෙදෙනෙකු ගෙන් දරුවන් හා වැඩිහිටියන් අඩුම වශයෙන් හතර දෙනෙකු යැපෙන ස්වභාවය බහුල වී තිබේ. ආර්ථික ගැටළු සහිත පසුබිමක දරුවන් ද සමග වැඩිහිටියන් රැකබලා ගැනීම ගැටළු සහගතය. ආදායම ප‍්‍රමාණවත් නොවීම එයට හේතුවයි. මූලික අවශ්‍යතා සම්පාදනය සම්බන්ධ ප‍්‍රශ්න මතුවන අවස්ථාවේ දී පවුල් අරගල මතු වන ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය. පසුගිය කාලයේ මාධ්‍ය මගින් වැඩිහිටියන්ට නොසලකන, ඔවුන් පිටමංකරන අවස්ථා බහුලව අනාවරණය කළේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

දියුණු රටවල මෙවැනි අර්බුද ඇත. දරුවන්ට දෙමාපියෝ රැකබලාගත නොහැකිය. වැඩිහිටියන් වෙනුවෙන් වෙන්කරන්නට කාලයක් නැත. අවශ්‍යතා සොයා බලා ඒවා නොපිරිහෙලා සම්පාදනය අපහසු වී තිබේ. පවුලට පමණක් නොව රටක පැවැත්මට ද එය බලපායි. පුරවැසියන්ට පහසුකම් සැපයීමේ දී වැඩිහිටියන් ගැන වෙනම අවධානයක් යොමු කරන්නට සිදුවෙයි. නෙදර්ලන්තය, නෝර්වේ, සිංගප්පූරුව හා චීනය වැනි රටවල් මෙම ස්වභාවයට මුහුණ දී සාර්ථක අත්දැකීම් උපයා ගෙන ඇති රටවල්ය. මෙම රටවල් වැඩිහිටියන් ගැන වැඩි පුර අවධානය යොමු කර ඔවුන්ට ගැලපෙන සෞඛ්‍ය, අධ්‍යාපන, ප‍්‍රවාහන සහ ආහාර සම්පාදන පහසුකම් ඇති කර තිබේ. තරුණන්, දරුවන් වෙනුවෙන් නොව වැඩිහිටියන්ට රෝහල් ඇත. ඒවායේ සත්කාරක සේවා වැඩිහිටියන් කේන්ද්‍ර කරගෙන සිදුවෙයි. මහ මාර්ගයේ ඇවිදින කොටස්, ගොඩනැගිලිවල ප‍්‍රවේශ ස්ථාන හෝ පොදු මගී ප‍්‍රවාහනය වැඩිහිටියන්ට කාලය ගෙන වාරුවෙන් යා හැකි පරිදි වෙනස් කර ඇත. සැඳෑ සමයේ දී පවා ඉගෙන ගන්නට අවස්ථා තිබේ. පහසුවෙන් කළ හැකි රැකියා නිර්මාණය කර ඇති අතර සිංගප්පූරුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සරල කටයුතු වලට සම්බන්ධ කරගෙන වේතනයක් ගෙවන ආයතන වලට වැටුපෙන් කොටසක් රජයෙන් ගෙවන ක‍්‍රම සම්පාදනය කර ඇත. ව්‍යායාම අවස්ථා, සංගීත, රූපවාහිනී වැඩසටහන් වැඩිහිටියන් ඉලක්ක කරගෙන සම්පාදනය කරයි. අවශ්‍ය ප‍්‍රමාණයට සහ ආදායම් මට්ටම අනුව වැඩිහිටි නිවාස තිබේ.

ශ‍්‍රී ලංකාවේ වැඩිහිටි සත්කාරක සේවාව අලූත් පියවරකට යා යුතුය. එය මහෝත්සවයක් කර ගැනීම බෞද්ධ දර්ශනයට එකඟය. සෙසු ආගම් වල පවා වැඩිහිටියන්ට සැලකීම මහා ගුණාංගයකි. ආණ්ඩුව එයට අවශ්‍ය අණ පණත් හා යටිතල පහසුකම් සම්පාදනය කළ යුතු අතර පුද්ගලික අංශය හා දානපතියන්  එකට එකතු විය යුතු බව යෝජනා කරන්නට අවශ්‍යය. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්, සමාජ නායකයන් වැඩිහිටි සත්කාරක සේවා පුලූල් කිරීම වෙනුවෙන් ජනමතයක් ඇති කිරීමට පෙනී සිටිය යුතුව තිබේ.