milinda-prashna

2018/10/10 – ලංකාදීප

රජයේ මැති ඇමැතිවරයෙකු ගෙන් ලැබුණ ලිපියක් අවසානයේ දී මෙයට ජනතා සේවක යනුවෙන් ලියා අත්සන් කරන ලද යුගයක් තිබුණි. නිදහස ලබා දශක හතක් ගතවන විට ජනතා සේවකයෝ සර්වබලධාරීහු බවට පත්ව සිටිති. ඉතා ගරු කටයුතුව ආමන්ත‍්‍රණය නොකළහොත් උදහස් වන අතර ජනතා ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයෝ උතුමන් ගේ තත්ත්වයට පත් වෙති. ජනතාවගේ බදු වලින් ජීවත්වන, සියළු සැප පහසුකම් භුක්ති විඳින පාලකයෝ තමන් ගේ පැවැත්ම හැසිරීම ගැන ලජ්ජා විය යුතුය. ස්වල්පයකට හැර ඉතා විශාල බහුතරයකට එය පොදු චෝදනාවකි.

සරල පැවැත්ම, අල්ප අපේක්ෂා සහ ජනතා ගෞරවයට පාත‍්‍රවූ සැබෑ ජන නායකයෝ සෑහෙන පිරිසක් ලෝක ඉතිහාසය තුළ අමරණීය චරිත බවට පත්ව තිබේ. ඉරානයේ විප්ලවීය ආගමික නායක අයතොල්ලා කුමෙයිනි ඒ අතරින් අයෙකි. ඉතා බලවත් රේසා ෂා පාලනයට එරෙහි ජනතා විප්ලවයක් දියත් කළේය. වසර දෙදහස් පන්සියයක කාලයක් පැවැති අධිරාජ්‍ය අහෝසි කර ඉරානයේ ජන සම්මතවාදී පාලනයක් බිහි කළේය. එය ආගමික හා ජනතාව එකතු වී කරන ලද අරගලයක් විය. ජනතාව වීදියට බැස විරෝධතා පළ කළේය. වැඩ වර්ජනය කළ අතර ෂා පාලනය සම්පූර්ණයෙන්ම අසරණ විය. රේසා ෂා බැහැර කර අල්ලා ගත් වටිනා සම්පත් කිසි දෙයක් අයතොල්ලා කුමෙයිනි සිය පරිහරණයට වෙන් කර ගත්තේ නැත. විශාල මාලිගා, යාන වාහන, සුඛෝපභෝගී මෙවලම් සියල්ල පැත්තකට කළේය. විප්ලවයකට පසු බලයට පත්වන පාලකයෝ පැරණි විභූතියෙන් කොටසක් තමන්ගේ පරිහරණයට වෙන් කරගනිද්දී ආගමින කායක අයතොල්ලා ඒ සියල්ල පැත්තකට කළේය. සිය පාලක මණ්ඩලයට හා නිලධාරීන්ට සරල ජීවිතයකට නැඹුරු වන සේ අවවාද කළේය.

‘‘ මම සේවකයෙක්මි. නායකයෙකු සේ මට කතා කරනවාට වඩා සේවකයෙකු සේ අමතනවානම් ඉතා කැමැත්තෙමි.’’ අයතොල්ලා රුහොල්ලා කුමෙයිනි ආගමික නායකයා ප‍්‍රසිද්ධියේ කියා සිටියේය. ‘‘ මගේ අපේක්ෂාව ජනතා සේවකයෙකු වන අතර මුර භටයෙකු සේ ජනතාව ආරක්ෂා කිරීමයි.’’ ඔහු පෙන්වා දුන්නේය.

ඉරානයේ ආගමික නායකයා වශයෙන් අසීමිත බලයක් සහිතව රට පාලනය කළ කුමෙයිනි ඔහුට නිල බලයෙන් ලැබුණ පහසුකම් අත් හැරියා පමණක් නොව ඒ වන විට ඔහුට අයිතිව තිබුණ දේපොල ද සම්පූර්ණයෙන්ම අවශ්‍යතා ඇති තැන් වලට බෙදා දුන් බව සඳහන් වෙයි. පරම්පරාවෙන් අයිති වූ ඉඩම් ගොවියන්ට බෙදා දී ඇති අතර තවත් ස්වල්පයක් ආගමික මධ්‍යස්ථාන වලට පවරා ඇත. ඉතා කුඩා කාමරයක තමන්ගේ රාජකාරි කටයුතු කරගෙන ගොස් තිබේ. විශාල ජන බලයක් සහිත සාමාන්‍ය පුද්ගලයෙකු වූ අයතොල්ලා කුමෙයිනි ජීවිතය හැර යන විට ඔහුට කියා දේපොලක් වශයෙන් තිබුණේ පොත පත කිහිපයක් පමණකි. 1979 දී හෙතෙම ටෙහෙරාන් වලට පැමිණ මවුබිම ෂා පාලනයෙන් මුදවා ගන්නා අවස්ථාවේ දී දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔහු වටා ඒකරාශී වූහ. 1989 ජුනි මාසයේ දී ඔහු ජීවිතයෙන් සමුගෙන යන අවස්ථාවේ දී ටෙහෙරානයට එකතු වූ ජන ගංගාව මිලියන දහයකට වැඩි බව වාර්තා පෙන්වා දෙයි.

ජනතාවට එපා වූ පාලකයෝ බලයෙන් පහ කරන්නට නායකත්වය දෙන ජන නායකයෝ පසුව ඉතා විශාල ජනතා කැමැත්තක් සහිතව පාලනය භාර ගනිති. බලයට පත් වූ පසු ජනතා සේවය ගැන අවධානය ගිලිහෙයි. ඉන් පසු ජනතා සේවකයෝ නොවේ. ජනතාවගේ ආරක්ෂකයෝ වෙන්නේ නැත. ජනතාවගෙන් ඈත් වන අතර ජනතාවගේ පාලකයා වන අතර ඔහු ආරක්ෂා කිරීම ජනතාව වෙත පැවරෙන කාර්යයකි. පාලකයා නඩත්තුව හා ඔහු ආරක්ෂා කිරීම වෙනුවෙන් අති විශාල කැපවීමක් කරන රටවල් අති විශාල ප‍්‍රමාණයක් ලෝකය පුරා පවතින අතර ඒවායේ ජීවත්වන ජනී ජනයා සෑහෙන පිරිසක් අතිශය දුඛිත ජීවිත ගත කරති. පාලනය වෙනස් කිරීමෙන් ලැබුණ වෙනස ගැන පොදු ජනතාවට වැටහීමක් නැත. ඉතා කෙටි කාලයක් ඇතුලත සිහින බිඳ වැටී අසරණ වන අතර ඒ මොහොතේ සිට පාලනය වෙනස් කරන්නට අධිශ්ඨානය ඇතිව හැසිරෙයි. එවැනි පසුබිමක ඉරානයේ ආගමික නායක අයතොල්ලා කොමෙයිනි ගේ පැවැත්ම අද යුගයට ආදර්ශයකි.