milinda-prashna

2018/09/26 – ලංකාදීප

නවීන තාක්ෂණික යුගයක් කරා ලෝකයේ පැවැත්ම වෙනස් වෙමින් තිබේ. දෙකෙළවරක සිටින දෙදෙනෙකු යා කරන්නට ගතවන කාලය මොහොතකි. සජීවී සම්මුඛ සාකච්ඡා පමණක් නොව සමූහයක් සහභාගීවන සම්මන්ත‍්‍රණ පවා ටෙලිකොන්ෆරන්ස් ක‍්‍රමයට පවත්වන්නට හැකියාව ඇත. දැනුම අවබෝධය ඇති සහ කාලය උපරිමව ප‍්‍රයෝජනයට ගන්නට සැලසුම් කරන නායකයෝ ව්‍යාපාරිකයෝ අවස්ථා සොයා රටින් රට ගමන් කරන්නේ නැත. තාක්ෂණ මෙවලම් භාවිතා කරති. විනිමය හිඟ, මුදල අවප‍්‍රමාණය වන කාල වකවානුවක ආණ්ඩුවේ විදේශ සංචාර තාවකාලිකව සීමා කිරීම සුදුසු අදහසකි. අවශ්‍යම ගමනකට හැර, කාලය හා ධනය නාස්ති කරන නිල විදේශ ගමන් අවලංගු කළ යුතුය.

ශ‍්‍රී ලංකාව ඉසුරුමත් රටක් නොවේ. දේශපාලනයේ දී විග‍්‍රහ වන ආකාරයට ණය ගෙවා ගත නොහැකි රටකි. ජනතාව මැදි ආදායම් මට්ටමක සිටින අතර නිති පතා අලූතින් පනවන බදු වලින් පීඩා විඳීති. දුෂ්කර ආර්ථික කාල වකවානුවක සම්පත් ඉතාම පරෙස්සමෙන් වියදම් කරන්නට දේශපාලන නායකයෝ වගබලා ගත යුතුය. සාමාන්‍යයෙන් යුරෝපා රටක පලමු පංතියේ ගුවන් ගමනක ප‍්‍රවේශ පත‍්‍රය රුපියල් මිලියනයක් පමණ වෙයි. තරු හෝටල වල නවාතැන් ගාස්තුව ද එයට ආසන්නය. වෙනත් රටකට ගමන් කරන විට දීමනාවක් ද හිමිවේ. මැති ඇමැතිවරු සංචාරය කරන්නේ තනිවම නොවේ. පුද්ගලික කාර්යය මණ්ඩලය හා නිලධාරීන් සමගය. එම පිරිස වෙනුවෙන් අඩු පංතියක ගාස්තු නමුත් එක සංචාරයකට වියදම් කරන මුදලින් දුප්පත් දරු පවුල් හත අටකට නිවාස ඉදිකර දිය හැකිය.

මෑත කාලය තුළ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ සංචාර සලකන විට ඒවායෙන් ආවරණය කරන ලද නිල කාර්යය සාමාන්‍ය නිලධාරියෙකුට පහසුවෙන් කළ හැකිය. නොඑසේනම් මෙරට නියෝජනය කරන තානාපතිවරයෙකුට එම කාර්යය සඳහා සම්පූර්ණ අධිකාරී බලය ඇත. තානාපතිවරු සිටිය දී ඔවුන් නොසලකා මෙරටින්ම ඉහළ පෙලේ දුත පිරිස් යවන්නට තීරණය කරන්නේ ඇයි?

දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිව සිටිය දී අසීමිත විදේශ සංචාරවලට නැඹුරු වූයේ නැත. ඇමරිකානු ජනාධිපති රොනල්ඞ් රේගන් හා බි‍්‍රතාන්‍යයේ එළිසෙබත් රුජන ගේ නිල ආරාධනා මත එම රටවලට ගමන් කළ මෑත කාලීන අවසාන රාජ්‍ය නායකයා සේ එතුමා ඉතිහාසයට එකතු වී තිබේ. එයින් පසු මෙරට පාලනය කළ ජනාධිපති හෝ අගමැතිවරුන්ට මෙම රටවල් දෙක කිසිම අවස්ථාවක නිල රාජ්‍ය තාන්ත‍්‍රික ආරාධනා කර නැත. දිවංගත ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා පවා ලැබෙන විදේශ සංචාර අවලංගු කළ අතර සිය කැබිනට් ඇමැතිවරුන්ගේ ගමන් තද පාලනයකට නතු කළේය. ආදර්ශය මෙරටින්ම තිබේ. මැලේසියානු නායක මහතීර්, පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හෝ වෙනත් ජන නායකයෙකු රටේ වියදම් ඉතිරි කරනු සඳහා තමන් පමණක් නොව ඇමැතිවරුන්ට ද විදේශ ගමන් සඳහා සීමා පැනවීම අපට ආදර්ශයක් කර ගත යුතු නැත. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතාපවත් නායකයෝ විනයකට ක‍්‍රියා කර තිබේ.

කුඩා රටක් වශයෙන් අපගේ තරම තේරුම් ගත යුතුය. ජගත් ප‍්‍රජාව අතර දැවැන්ත නායකයන් ඉදිරියේ ශ‍්‍රී ලංකාවේ සහභාගීත්වය සංකේතයක් පමණකි. එවැනි සංචාර අලලා මෙරට කරන මාධ්‍ය ප‍්‍රචාරය දේශපාලන ප‍්‍රතිරූපය සඳහා වැදගත් විය හැකිය. නමුත් ඒ වෙනුවෙන් කරන විශාල වියදම මහජනතාවගේ බදුවලින් වැය කිරීම කිසිසේත් යුක්ති සහගත නැත. ආර්ථිකය දුර්වල, ජනතාව ගේ ජීවන වියදම දරා ගත නොහැකි අවස්ථාවක දී ජන නායකයෝ අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන සරල පැවැත්මකට යා යුතුය. ජාත්‍යන්තර මට්ටමේ දි පවා මහජන මුදලින් සුඛෝපභෝගී සංචාර වල නිරතවන දුප්පත් රටවල නායකයන් ගැන ප‍්‍රසාදයක් නැත. මාතෘ භූමියේ ජනතාවගෙන් ගෞරවය දිනා ගැනීම ලෝකයෙන් ලැබෙන ප‍්‍රතිචාර වලට වඩා වැදගත්ය.