milinda-prashna

2018/08/15 – ලංකාදීප

වැඩ වර්ජන, විරෝධතා, නිවාඩු අතරට උත්සව පැවැත්වීමේ විලාසිතාව එකතු වී තිබේ. ශ‍්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින, රටක ආර්ථික දුෂ්කරතා වලට මෙම උත්සව වලින් ලැබෙන පිටිවහල කුමක්දැයි ප‍්‍රශ්න කරන්නට අවශ්‍යය. කාලය ධනය නාස්තියකි. මහජන මුදල් වැය කරන මුල්ගල තැබීම, විවෘත කිරීම, නොයෙක් අරමුණු කරගත් වැඩසටහන් වෙනුවෙන් මහා පරිමාන උත්සව පවත්වන්නට දරන වියදම අනවශ්‍ය එකක් බව අප නොයෙක් වතාවල සඳහන් කර තිබේ. ලෝක ආදි වාසී දිනය වෙනුවෙන් රාජ්‍ය උත්සවය පවත්වන අවස්ථාවේ දී මුදල් වැය නොකර එම මුදල් ආදිවාසී ගම්මාන වල පවතින ගැටළු හා පාසල් දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නංවන්නට යොදවන්නට තීරණය කර ඇති බව ආදිවාසී නායක වනස්පතී උරුවරිගේ වන්නියල ඇත්තන් සඳහන් කර ඇත.

වරිග සභා දහතුනක් පවත්වා ආදිවාසීන්ගේ අවශ්‍යතා ගැන කරුණු එකතු කර ඇති වන්නියල ඇත්තන් ඒවා ආණ්ඩුවේ බලධාරීන්ට පෙන්වා දී තිබේ. ආදිවාසීන්ගේ ගැටළු ගැන මනා අධ්‍යයනයක් කර ගැලපෙන යෝජනා කි‍්‍රයාත්මක කරනු අවශ්‍යය. එය වෙනුවට වසරක් පාසා නගරයෙන් පැමිණෙන විද්වතුන් උත්සවයක් පවත්වා ආපසු පිටත්වීම සිදුවී ඇති බව පෙනේ. එය මෙරට වෙනත් ප‍්‍රදේශ වලට ද පොදු දෙයකි. සුළු දෙයටත් උත්සව පවත්වන විට එහි පැමිණෙන ආරාධිත අමුත්තා හමුවේ ගමේ ඇති අඩුපාඩු ප‍්‍රකාශ කර ඒවා ඉටු කරදෙන ලෙස ඉල්ලා සිටීමේ ප‍්‍රවනතාවයක් ද දැකගත හැකිය. කඩිනම් අවධානය යොමු කරන බව ප‍්‍රකාශ කර උත්සව සභාවෙන් පිටව යන අමුත්තෝ ඒවා අමතක කරන අතර ජනතා දුක්ගැනවිලි වලට විසදුමක් නැත.

නවීන සංවර්ධන සංකල්ප, ඉ රාජ්‍ය පාලනය, කාර්යක්ෂමතාව ඇතුළු නොයෙක් බරසාර දේ ගැන මනා අවබෝධයක් ඇති මෙරට නායකයෝ ජනතා මුදල් පරෙස්සමෙන් පරිහරණය කරන්නේ කෙසේදැයි අවධානය යොමු කරන්නේ නැත. ජනතාවගෙන් උපයා ගන්නා බදු, මහජන යහපත උදෙසා ඉතාම හොදින් වැය කරන සැලසුම් ගැන හිතා බලන්නේ නැත. ආදිවාසී නායකයා ගෙන් පාඩමක් ඉගෙන ගන්නට සිදුවීම සරදමකි. ගතවූ  කාලය තුළ මහජන මුදල් වියදම් කර පවත්වන ලද උත්වස වලින් රටට ලැබුණ යහපත කුමක්ද යන්න සමාලෝචනය කරන්නට මෙය කදිම අවස්ථාවකි.

රජයේ උත්සව වලට සෑහෙන වියදමක් වැය කරන බව නොරහසකි. මහජන මුදල් හෝ දෙස් විදෙස් ණය උපයෝගී කරගෙන කරන පොදු වැඩසටහන් හෝ සංවර්ධන කාර්යය වෙනුවෙන් මහා උත්සව පවත්වා ජනතාවට පැවරීමේ අවශ්‍යතාවය කුමක්ද? එය දේශපාලනික ප‍්‍රතිරූප අරමුණු කරගෙන පවත්වන එකකි. මාධ්‍ය දැන්වීම්, පෝස්ටර්, සමරු කලාප, සමරු ඵලක, වේදිකාව සහ සැරසිලි, නැටුම් හා සංගීත සංදර්ශන සහ අවසානයේ දී සහභාගීවන ජනතාවට සංග‍්‍රහයක් හා ආරාධිත අමුත්තන්ට ද විශේෂ සංග‍්‍රහයක් මූලික වශයෙන් අනිවාර්යයෙන් තිබේ. මේවායෙන් කොටසක් ආණ්ඩුවෙන් සැපයෙන අතර තවත් කොටසක් අනුග‍්‍රාහකයන්ගෙන් වෙන්නට බැරි නැත. මෙකී අවස්ථා සංවිධානය කරන කාර්ය මණ්ඩලයේ වියදම් යාන වාහන වෙනුවෙන් පිරිවැය වෙනම දරන්නට සිදුවෙයි.  සමහර අවස්ථා වල මහජන ව්‍යාපෘතියට වියදම් කරන පිරිවැය ඉක්මවා උත්සව වියදම ඉහළට නැග ඇති බව ගණන් බැලූවහොත් අවබෝධ වනු නිසැකය. දේශපාලනඥයන් ඇතුළු ආරාධිත අමුත්තන් පැමිණ, කරන නිල කාර්යයට පසු උත්සවයට අදාල යමක් සඳහන් නොකර ප‍්‍රතිවාදී දේශපාලන පක්ෂ වල යටගියාව අවුස්සා කතාවක් කරන අතර පසුදා මාධ්‍යයෙහි ඉහළින් වාර්තා කෙරේ. අවසාන අරමුණ එම මාධ්‍ය අවධානය දිනා ගැනීමයි. තම නායකයා ප‍්‍රතිවාදී බලවේගයන් වෙත එල්ල කරන ලද චෝදනා හෝ වහසි බස් නාලිකා වලින් අහන දකින පාක්ෂිකයෝ අතරින් කොටසක් අප‍්‍රමාණ සන්තෝෂයට පත්වෙති.

අලූත් යුගයක් ගැන සිහින දකින රට වැසියන්ගේ උසස් පරමාර්ථ ගැන සලකා ක‍්‍රියා කරන්නට ජන නායකයෝ තීරණය කළ යුතුය. ජනතා මෙහෙවර වෙනුවෙන් බලයට එන නායකයෝ හැබෑ ජනතා අවශ්‍යතා ගැන පුලූල් අවධානයක් යොමු කළ යුතුය.