milinda-prashna

2018/07/11- ලංකාදීප

දකුණු ඇමරිකාවේ විශාලතම ආර්ථිකය සහිත රටවල් අතර දෙවැනි තැන හිමි මෙක්සිකෝ රාජ්‍යයේ වැසියෝ පසුගියදා අලූත් ජනාධිපතිවරයෙකු පත් කරගත්තේය. එතෙක් බලයේ සිටි පක්ෂයේ අපේක්ෂකයාට සියයට විසි දෙකක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාදී තුන්වැනි තැනට තල්ලූ කරන ලද එරට වැසියෝ අලූතින් පිහිටුවන ලද රීජෙනරේෂන් පක්ෂයේ නායක, අන්ද්‍රෙස් මැනුවෙල් ඔබ්රෙඩෝ සියයට පනස් තුනක ප‍්‍රතිශතයකින් බලයට පත් කරන ලදහ.

විවෘත ආර්ථික ක‍්‍රමයෙන් බිහිවී ඇති ධනවාදී සමාජය තුළ දුප්පත් පොහොසත් පරතරය දරුණු ලෙස වර්ධනය වී ඇති බව ඡන්ද රැස්වීම් වල දී ප‍්‍රසිද්ධියේ කියා සිටි අන්ද්‍රෙස් මැනුවෙල් එය සිය ප‍්‍රමුඛ සටන් පාඨය කරගත්තේය. මත් ද්‍රව්‍ය වසංගතයට එරෙහි විය. දුප්පතුන් ගලවා ගත යුතු අතර දුෂිත දේශපාලනය ප‍්‍රතික්ෂේප කළේය. දූෂණය මැඩ අලූත් පාලන ව්‍යුහයක් ගොඩනගන බවට පොරොන්දුවක් දුන් අතර ජනතාව එය විශ්වාස කර තිබේ.

බලයට පත් වූ මෙක්සිකෝ ජනාධිපති අන්ද්‍රේස් දින පහක් තුළ ජනතාව අපේක්ෂා කළ වෙනස ප‍්‍රායෝගිකව ඔප්පු කර තිබේ. පරිවාර ආරක්ෂකයන් අනවශ්‍ය බව කියා ඇති හෙතෙම ජනතාව සහ මාධ්‍ය තමන්ගේ ආරක්ෂාව සපයනු ඇති බව කියා ඇත. ලෝකයේ වඩා අනාරක්ෂිත රටවල් අතර ප‍්‍රධාන තැනක් ගන්නා මෙක්සිකෝවේ හිටපු ජනාධිපතිවරයා ගිනි අවි හදුනා ගත හැකි නවීන තාක්ෂණික මෙවලම් වලින් සන්නද්ධ දේහාරක්ෂක බලකායක ආරක්ෂාව ඇතිව සිටියේය. වසර දහයක් තුළ මනුෂ්‍ය ඝාතන ලක්ෂ දෙකක් වාර්තා වූ මෙක්සිකෝවේ එම තීරණය අසාධාරණ එකක් නොවේ. මෙක්සිකෝව මත් ද්‍රව්‍ය වසංගතයට බලවත් සේ ගොදුරු වී ඇති අතර එය විශාල මාෆියාවකි. මෙක්සිකෝ දේශ සීමාව මායිම් කරමින් රටවල් වෙන්කරන තාප්පයක් බැඳිමට ඇමරිකානු ජනාධිපතිවරයා තීරණය කරන්නේ අනවසර ශ‍්‍රමික හා මත් ද්‍රව්‍ය ජාවාරම ඉහවහා යාමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. පසුගිය වසරේ පමණක් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගේ ගැටුම් හෙයින් මනුෂ්‍ය ඝාතන විසි නම දහසක් වාර්තා වූ අතර ඝාතන වලට  ප‍්‍රසිද්ධ රටක පත් වූ අලූත් ජනාධිපතිවරයා දැඩි ආරක්ෂාව ප‍්‍රතික්ෂේප කිරීම ආන්දෝලනයක් ඇති කර තිබේ.

ජීවිත ආරක්ෂාව ජනතාවට හා මාධ්‍යයට භාර දුන් අන්ද්‍රෙස් මැනුවෙල් ජනාධිපතිවරයා සුඛෝපභෝගී වාහන වෙනුවට සාමාන්‍ය වොක්ස්වැගන් ජෙටා රථයක් නිල වාහනය වශයෙන් තෝරා ගෙන ඇත. එය එ රට ඌබර් ටැක්සි සේවාවේ ජනප‍්‍රිය වාහනය බව සඳහන් කළ යුතුය. මැති ඇමැතිවරුන්ට හා නිලධාරීන්ට අධික වියදමින් රට තුළ ගුවන් යානා වලින් හෝ හෙලිකොප්ටර් සංචාර තහනම් කර තිබේ. ජනාධිපති වැටුප අඩු කර ඇති අතර තමන්ගේ වැටුප කපා හරින විට ගුරුවරුන්ට හෝ හෙදියන්ට වැඩි වැටුප් ගෙවිය හැකි බව ප‍්‍රකාශ කර ඇත. මහේශාඛ්‍ය ජනාධිපති මන්දිරය අනවශ්‍ය බව දන්වා ඇති අලූත් ජනාධිපතිවරයා එය මෙක්සිකෝවේ කලාගාරයක් බවට හරවන ලෙස උපදෙස් දී ඇති අතර සාමාන්‍ය නිවසක් වාසස්ථානයට තෝරා ගෙන තිබේ. ජනාධිපති අන්ද්‍රෙස් අවසානයට මතුකරන සංකල්පයක් තිබේ. එය ඉතාම වැදගත්ය. දුප්පත් මිනිසුන් ජීවත්වන රටක පොහොසත් ආණ්ඩුවක් නොවීමය.

හැමදෙනාටම සවන්දෙන, හැම දෙනාම බලාගන්නා සහ සෑම සියළු දෙනෙකුටම ගෞරව කරන නව පාලනයක් බිහි කරන බව ඡනාධිපති ඡන්ද ප‍්‍රචාරණ වේදිකාවේ දී ප‍්‍රතිඥා දුන් අන්ද්‍රෙස් මැනුවෙල් ජනාධිපතිවරයා සමාජයේ පහල ස්ථරයේ මෙතෙක් නොසැලකිල්ලට ලක් වූ ජන කොටස වෙත වැඩි අවධානයක් යොමු කරන බව එක හෙලා කියා සිටියේය.

ඡන්ද වේදිකාවේ දී දහසක් පොරොන්දු දෙන දේශපාලකයන් බලයට පත් වූ පසු ජනතාවගේ බදු වලින් පොහොසත් වන ආණ්ඩු වල සුඛිත මුදිතව ජීවත්වන රටවල් ඇති ලෝකයක මෙක්සිකෝ ජනාධිපතිවරයාගේ ආරම්භය විශාල ජනප‍්‍රසාදයක් අත්පත් කරගෙන තිබේ.