milinda-prashna

2018/06/20 – ලංකාදීප

සීසර් ගේ බිරිඳ සැකයට පාත‍්‍රවියයුතු නැත’’ යන්න ප‍්‍රකට ඉංගී‍්‍රසි කියමනකි. (Caesar’s wife must be above suspicion) යනුවෙන් භාවිතා කෙරේ. ජුලියස් සීසර් රෝමයේ අධිරාජ්‍යයෙහි අසහාය පාලකයෙකි. ක‍්‍රිස්තු පූර්ව යුගයේ රෝම අධිරාජ්‍යයා වූ හෙතෙම රෝම අධිරාජ්‍යය ස්වර්ණමය යුගයකට යොමු කරන්නට සමත්විය. සීසර් සිය පළමු බිරියගේ අභාවයෙන් පසු දෙවන වතාවට පොම්පියා කුමරිය ආවාහ කර ගනී. ඇය සම්බන්ධයෙන් සීසර් අනුගමනය කළ අනගිභවනීය ප‍්‍රතිපත්තිය පොම්පියාගේ නම ඉතිහාසයේ වැදගත් තැනක ස්ථාන ගත කරන්නට හේතු වී තිබේ.

තිස් හත් වැනි වියේ දී සීසර් රෝමයේ ආගමික අංශයෙහි ප‍්‍රධානියා බවට පත් වූ අතර එය වෙනුවෙන් ඒ වන විට බිරිඳව සිටි පොම්පියා දෙවියන් වෙනුවෙන් මහා උත්සවයක් පවත්වන ලද බව සඳහන් වෙයි. කාන්තාවන් පමණක් සහභාගී විය යුතු එම උත්සවයට වෙස් මාරු කරගෙන තරුණයෙකු පැමිණ සිටි අතර උත්සවය අතරවාරයේ දී ආරක්ෂකයන්ට කොටු වී තිබේ. සිද්ධිය ගැන පරීක්ෂණයකට පසු තරුණයා නිදහස් කර යැවුණ බව ඉතිහාස කතාන්දරයේ සඳහන් වෙයි. සුළු සිද්ධියක් නමුත් අධිරාජ්‍යයා අද ප‍්‍රකාශ වන වචන වලින් නම්, තම සහකාරිය දික්කසාද කළේය. පොම්පියාගේ අනුදැනුමක් මෙකී සිද්ධියට සම්බන්ධ යැයි කිසිසේත්  අනාවරණය නොවූ නමුත් තම බිරිඳ සැකයකට පාත‍්‍රවිය යුතු නැති බව සීසර් ගේ තීරණය වී තිබුණි.

අධිරාජ්‍යවාදී පාලකයෙකුට රිසි පරිදි තීරණ ගැනීමට බාධාවක් නැත. නමුත් මෙම සිද්ධියේ දී සීසර් ’’සැකයට’’ ඉඩ දුන්නේ නැත. සැකය මතු කරගෙන රෝමය තුළ මතුවිය හැකි වාතාවරණය පාලනය කරන්නට පියවර ගත්තේය. සැකය හා අවිශ්වාසය ඉතාම බරපතල කාරණා සේ සලකා ක‍්‍රියා කර ඇත. සීසර් ක‍්‍රියාකරන ලද ආකාරය සංකේතයක් වී තිබේ. ආර්ථික හා දේශපාලන කාරණා වල දී පාලකයා අල්පමාත‍්‍ර හෝ සැකයකට ලක් විය යුතු නැති බව අඟවන්නට මෙම සිද්ධිය උපයෝගී කරගනී. පාලකයන් අනුගමනය කරන ප‍්‍රතිපත්ති හා හැසිරෙන ආකාරය විනිශ්චය සඳහා සීසර් ගේ සිද්ධිය මිණුම් දණ්ඩක් කරගෙන තිබේ.

පොම්පියා මුහුණ දුන් අවස්ථාව විශාල අසාධාරණයක් බව පැහැදිලිය. පාලන ක‍්‍රමය තුළ පැහැදිලි, විනිවිද පෙනෙන භාවයක් ආරක්ෂා කර ගැනීමට එය හේතු විය. ජුලියස් සීසර් අසමාන චරිතයකි. එවැනි චරිත අද නැත. මෙකල ලෝකයේ ප‍්‍රබල නායක නායිකාවෝ සැකයට ලක් වන අවස්ථා තිබේ. දේශපාලනඥයන්ගේ අඹු දරුවෝ සැකයට පාත‍්‍රවෙති. ධනය හා බලය අයුතු ලෙස භාවිතා කරන බව එළිපිටම අනාවරණය වෙන අවස්ථා ඇත. ජන නායකයන්ගේ පවුල්වල සමීප පුද්ගලයෝ චෝදනා වලට ගොදුරු වෙති. එවැනි අවස්ථාවක මෙවැනි තීන්දු ගැනීමක් වාර්තා නොවේ. ගෝලීයකරණයට ලක් වූ තාක්ෂණික වශයෙන් දියුණුයැයි කියන ජගත් දේශපාලනයේ පවතින පුදුමාකාර ස්වභාවයක් වශයෙන් සැලකිය හැකිය.

මෙරට ජනතාව ඡන්දයෙන් නායකයන් තෝරා ගන්නේ නායකයන් කෙරෙහි මහත් විශ්වාසයක් ඇතිවය. දේශපාලනඥයන් ගේ ක‍්‍රියාකාරකම් සැකයට පාත‍්‍ර වී තිබේ. අඹු දරුවන්, ඥාතීන් සහ හිතවතුන් හැසිරෙන ආකාරය ලජ්ජා සහගතය. ඇතැම් දේශපාලනඥයන් ගේ පැවැත්ම ඉතාම අවලස්සනය. මාධ්‍ය වලින් අනාවරණය කරන සිද්ධි පිරිහීම මැනවින් පෙන්නුම් කරයි. උසස් ගුණාංග සහිත ජන සමාජයක් ගොඩනගන්නට පොරොන්දු දෙන නායකයෝ ජරාජීර්ණ, පිලිකුල් සහගත වටපිටාවක් සකස් කරගෙන ඇත. ජනතාවගේ සැකයට පාත‍්‍ර වී ඇති දේශපාලනඥයන් තම හෘද සාක්ෂියට අනුව තීරණ ගත යුතුය. ක‍්‍රමය ගැන අවිශ්වාසය ගොඩනැගෙන්නට කලින් ඉවත්වීම සුදුසුය. බරපතල සැකයට ලක්වී ඇති ඇතැම් දේශපාලකයෝ වරද පිලිගන්නට සූදානම් නැත. අධිතක්සේරුවක සිටින දේශපාලනඥයන් ‘සීසර් ගේ තීන්දුවට’ ලක් විය යුතුය. පක්ෂ නායකයෝ තද තීරණ ගත යුතුය. විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට හැකි තීරණ ගැනීම මෙරට දේශපාලන පක්ෂ නායකයන්ගේ වගකීමකි.