milinda-prashna

2018/06/13 – ලංකාදීප

අති විශාල ජනප‍්‍රසාදයක් සහිතව බලයට පත්වන දේශපාලන නායකයෝ ඉතාම ඉක්මනින් අප‍්‍රසාදයට පත්වෙති. එය නූතන තාක්ෂණික යුගයේ ස්වභාවයයි. ජන නායකයන් ගේ ගුණාංග, ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාකරන විලාශය ගැන ජනතා ප‍්‍රබෝධය වැඩි කල් පවතින්නේ නැත. නිල කාලය අවසන්වීමටත් කලින් පිරිහීමට ලක් වන අතර ජනතාව තුළ ගොඩනැගුණ විශ්වාසය ගිලිහීයෑම බරපතල ප‍්‍රශ්නයකි. ලෝකයේ සෑම රටකම දේශපාලන නායකයෝ මෙම ගැටළුවට මුහුණ පා සිටිති. ජනතාව වෙනුවෙන් කරන කැපවීම නිසි සේ ප‍්‍රකාශ කරගන්නටත් කලින් අසමත්වීම මෙහි දී මතුවන දුර්වලතාවයක් සේ සඳහන් කළ හැකිය.

දේශපාලනඥයන්ගේ ඉක්මන් පිරිහීමට හේතුව කුමක්ද? ජනතා ප‍්‍රසාදය ආරක්ෂා කරගන්නට අසමත්වන්නේ ඇයි? බලය ලැබෙන විට පැවැත්ම වෙනස් වීමටත් වඩා බලපාන දෙයක් තිබේ. නූතන සන්නිවේදන ව්‍යුහයේ බලපෑම බව තේරුම් ගත යුතුය. බි‍්‍රතාන්‍ය හිටපු අගමැතිවරයෙකු වූ ගෝඩන් බ‍්‍රවුන් දක්වන අන්දමට විසි හතර පැයේ විකාශය වන ප‍්‍රවෘත්ති වලින් දේශපාලන නායකයන්ගේ දීර්ඝ ජන නායකත්ව භූමිකාව වසර හයකට සීමාකර තිබේ. නූතන ජන මාධ්‍ය භාවිතාව දේශපාලකයන් අනාවරණය කරයි. ඉතා ඉක්මනින් පිරිහීම එහි ප‍්‍රතිඵලයකි. දහ නම වැනි සියවසේ දී දේශපාලන නායකයන්ට දීර්ඝ කාලීන පාලන කාලයක් ආරක්ෂා කර ගැනීමට හැකි විය. පාලකයන් ගේ හැසිරීම ජනතාවගෙන් දුරස්ථය. නමුත් විසි එක්වන සියවස වන විට පාලකයන් හා මාධ්‍ය සම්බන්ධතාව ප‍්‍රබලය. ගෝඩන් බ‍්‍රවුන්ට අනුව වසර දහයක් බොහෝ විට වසර හයකට සීමාවීම එහි ප‍්‍රතිඵලයකි. දේශපාලකයන් ගේ හැසිරීම, කරන කියන දේ මාධ්‍ය එලෙසින්ම වාර්තා කරන අතර නායකයන් සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින ප‍්‍රතිරූප පලූදු කරන්නට එය හේතුවකි. සම්ප‍්‍රදායික මාධ්‍ය අතරට එකතු වී ඇති සමාජ මාධ්‍ය එම කාර්ය ප‍්‍රබලව ඉශ්ඨ කරමින් සිටින අතර තමන් දකින දේ එලෙසින්ම වාර්තා කිරීම දේශපාලන චරිත වල පැවැත්ම අභියෝගයට ලක් කර ඇත.

මෙරට දේශපාලනඥයන්ට මෙම වෙනස්වීම අවබෝධ කරගත නොහැකි වී තිබේ. ජනමාධ්‍ය මගින් ප‍්‍රතිරූප මතු කරන අතර එයට වඩා වේගයෙන් විනාශ කරන බව වටහා ගන්නේ නැත. දවස පුරා ප‍්‍රචාරය වන මාධ්‍ය වලින් තමන් කරන කියන දේ ප‍්‍රචාරය කිරීමෙන් ජනතාව දැනුම්වත් වනු ඇති අතර එය තම ජනප‍්‍රියත්වය වර්ධනය කරන්නට හේතුවක් යැයි ඔවුහු කල්පනා කරති. එය බරපතල වැරදීමකි. මාධ්‍ය මගින් පෙන්වන විස්තර මගින් ජනතාව අවබෝධ කරගන්නා දෙය වෙනස්ය. තීරණ ගැනීම, හැසිරීම හා ක‍්‍රියාත්මකවීම සම්බන්ධයෙන් සෑහෙන තොරතුරු ප‍්‍රමාණයක් ජනතාව අතරට යන අතර නායකයන් හා ජනතාව අතර තිබුණ දුරස්ථභාවය අඩු කරන්නට එය හේතු වී තිබේ. තමන්ගේ දේශපාලන නායකයා ගේ තරම නිසි සේ වටහා ගන්නා ඡන්ද දායකයෝ ඔවුන් කෙරෙහි තැබූ බලාපොරොත්තු ආපසු හරවා ගනිති. පොදු ජනතාව අපේක්ෂා භංගත්වයට පත් කරන එවැනි සිද්ධි අද සිදුවෙමින් තිබේ. ගෝඩන් බ‍්‍රවුන් පෙන්වා දෙන්නේ එයයි.

විසි වැනි සියවසේ විශිෂ්ඨතම දේශපාලකයෙකු සේ සැලකෙන වින්සන්ට් චර්චිල් අද යුගයේ ජීවත්ව සිටියේ නම් මෙපමණ පිලිගැනීමක් ලැබෙන්නේ නැත. හේතුව ඔහුගේ නායකත්ව ගුණාංග තරමටම අභ්‍යන්තරය ද අනාවරණය වන හෙයින් බව සැලකිය යුතුය. ඞී.එස්. සේනානායක, ඩඞ්ලි සේනානානායක සහ බණ්ඩාරනායක වැනි චරිත අද වැනි මාධ්‍ය යුගයක විශාල චරිත වශයෙන් ගොඩනැගෙන්නේ නැත. දක්ෂතා අභිබවා දුබලතා පෙන්වා ඔවුන්ගේ පරාක‍්‍රමය අභියෝගයට පත් කරනවා නිසැකය.

පැය විසි හතර පුරා සිද්ධි වාර්තාකරන මාධ්‍ය හැසිරීම ඉදිරියේ පරෙස්සම් නොවන දේශපාලනඥයන් අදක්ෂ, විකට සහ අකාර්යක්ෂම පුද්ගලයන් වශයෙන් ඉතිහාසයට එකතුවීම වැලැක්විය නොහැකිය. මාධ්‍ය වලින් තමන්ගේ තරම යෝධයන් සේ පෙන්වන බව හිතන දේශපාලනඥයන්, ජනමාධ්‍ය ප‍්‍රචාරය තුළින් ඔවුන්ගේ තරම අඟුටුමිට්ටන් කර ඇති බව තේරුම් ගැනීම ඉතාම වැදගත්ය.