milinda-prashna

 

2018/ 06 /06 – ලංකාදිප

ඉරාක ජනරජයේ මහ මැතිවරණය පසුගියදා පැවැත්විණි. ප‍්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරය කැපී පෙනෙන ජයග‍්‍රහණයක් අත්පත් කරගත්තේය. සාද්රිස්ට් ව්‍යාපාරය එහි දී වැදගත් පාර්ශවයක් විය. මුක්ටාදා අල් සාදර් එම පක්ෂයේ නායකයා වශයෙන් ක‍්‍රියා කරයි. හෙතෙම ඉරාකයේ බෙහෙවින් ජනප‍්‍රිය චරිතයකි. හෙතෙම තනතුරු වලට ප‍්‍රිය නැත. සමාජ ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් පෙනී සිටියි. දූෂණයට විරුද්ධත්වය පළ කරන අතර ඉරාකයේ අනන්‍යතාවය ආරක්ෂා කරගැනීම සඳහා තද තීරණ ගන්නා දරදඬු නායකයෙකු සේ සැලකේ.

ඉරාකයේ මැතිවරණය ප‍්‍රකාශයට පත් කරන විට අල්සාදර් ගේ පක්ෂයට නියෝජිතයන් තිස් හතර දෙනෙකුගේ නියෝජනයක් තිබුණි. ඇමරිකාව ඉරාකය ආක‍්‍රමණය කිරීමෙන් පහලොස් වසරකට පසු පවත්වන ඡන්දයෙන් පැහැදිලි ජයක් ලැබීම මුක්ටාදා ගේ අධිෂ්ඨානය විය. පාර්ලිමේන්තුවේ සිටි මුක්ටාදා ගේ මන්ත‍්‍රී කණ්ඩායම නොයෙක් අපවාද වලට ලක්ව සිටි අතර දූෂණ හා අල්ලස් චෝදනා ඒ අතර බහුලය. ඒවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් චෝදනා එල්ලවී තිබුණ මහජන නියෝජිතයන්ට අමතක නොවෙන පාඩමක් ඉගැන්වීමට මුක්ටාදා තීරණය කළේය. මෙම තිස් හතර දෙනාවම පක්ෂයේ ඡන්ද අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කළේය. එය ඉතාම තද තීරණයකි. නාම යෝජනා ලැයිස්තු හදනවිට දක්ෂ වෘත්තීයගරුක පුද්ගලයන්ට අලූතින් අවස්ථාවක් දුන්නේය. දූෂණය ත‍්‍රස්තවාදයට සමාන කරන ලද අතර එය මැතිවරණයේ තේමාව කර ගත්තේය. බලයට පත්වීමෙන් පසු දූෂණය නතර කිරීම වෙනුවට දූෂිතයන් පැත්තකට කර අලූත් කණ්ඩායමක් සමග පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් විය. එය සාර්ථක වී ඇත. පසුගියදා අවසන් වූ ඡන්දයේ දී සාද්රිස්ට් ව්‍යාපාරයට මන්ත‍්‍රී ආසන පනස් හතරක් ලැබී ඇත.

දූෂිත, නම කැත කරගත් කණ්ඩායමක් නැවත පත් කරගැනීම නුසුදුසු බව තීරණය කරන ලද පක්ෂ නායකයා ඒ වෙනුවෙන් අලූතින්ම යෝජනා කරන ලද අයට ජනතා කැමැත්ත ලැබීම විශාල ජයග‍්‍රහණයකි. ඉරාක පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත‍්‍රී කණ්ඩායම 329 ක් වන අතර ආණ්ඩු බලය සඳහා ප‍්‍රමාණවත් නැති නමුත් අලූත් ආණ්ඩුව පිහිටුවන සන්ධානයේ නැවුම් බලවේගය බවට පත්වීමට මුක්ටාදා ගේ පක්ෂයට හැකි වී තිබේ. ඡන්ද ප‍්‍රතිඵලයට පසු ප‍්‍රකාශයක් කරන පක්ෂ නායක මුක්ටාදා අල් සාදර් ‘‘ඔබ ගේ ඡන්ද වලින් ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය ජය අත් කරගෙන ඇතැයි’’ කියා සිටියේය. ඔබ ලබා දුන් ඡන්දය අපට ගෞරවයක් යැයි හෙතෙම වැඩි දුරටත් ප‍්‍රකාශ කර තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය ගැන විශිෂ්ඨ අත්දැකීම් ඇති ශ‍්‍රී ලංකාව ඉරාකයේ සාද්රිස්ට් ව්‍යාපාරයෙන් පාඩමක් ඉගෙනගත යුතුය. දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් ගේ දූෂිත තත්ත්වයන් ගැන අති විශාල අනාවරණ සිදුවෙමින් තිබේ. මහජන මුදල් වංචා කිරීම, අල්ලස් ගැනීම හා ජනතා මුදල් අවභාවිතාව ගැන චෝදනා වාර්තා කරන්නේ විශාල ආන්දෝලනයක් ඇති කරමින්ය. නඩු විභාග කර අධිකරණ තීන්දුවකින් චෝදනා ඔප්පු වෙන තුරු චූදිතයෝ ගරු මැති ඇමැතිවරු සේ හැසිරෙති. ආත්ම ගෞරවය, හෘද සාක්ෂිය වැනි වැදගත් සංකේත අසරණ වී සිටී. මහජන නියෝජිතයන් ගැන ඇති චෝදනා ගැන පක්ෂ නායකයෝ භයානක නිහඬතාවයකය. චූදිතයන් ඉවත් කර පක්ෂ පිරිසිදු කරන්නට ජන නායකයන්ට ආත්ම ශක්තියක් නැත. මැතිවරණයක දී ජනතාව ප‍්‍රතික්ෂේප කරන ඇතැම් දේශපාලකයන් ජාතික ලැයිස්තුවෙන් නැවත පාර්ලිමේන්තුවට පත් කිරීමට හෝ වගකිවයුතු රජයේ තනතුරු වලට පත් කරන්නට මෙරට පක්ෂ නායකයෝ පියවර ගනිමින් සිටිති. එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.

අලූත් යුගයක් ඇති කරන බවට ජනතාව හමුවේ පොරොන්දු දෙන දේශපාලන නායකයෝ පරණ දූෂිත පිරිස තම අනුගාමිකයන් සේ නඩත්තු කරමින් සිටිති. ක‍්‍රමය තුළ පවතින අතිශය නරක ස්වභාවය හෙයින් ධෛර්යයක් ඇති අලූත් අය දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෙන්නේ නැත. බුද්ධිමත් ජනතාව මෙකී ප‍්‍රතිපත්ති ප‍්‍රතික්ෂේප කරන බව නොරහසකි. ජරාජීර්ණව, කඩතොලූ වී පවතින මෙරට දේශපාලනයෙන් හෙම්බත් වී සිටින පොදු ජනතාවට අලූත් බලාපොරොත්තු ඇති කරනු සඳහා සාද්රිස්ට් ව්‍යාපාරයක් ගොඩනැගෙන්නේ කවදාද?