milinda-prashna

2018/05/30 – ලංකාදීප

මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ මැතිතුමා බේගල් නමින් චරිතයක් නිර්මාණය කළේය. බොරු කීම බේගල්ගේ සිරිතයි. ඔහුගේ බොරු කිසිසේත් විශ්වාස කළ නොහැකි අතර නොදන්නෝ රැවටෙති. නිවසකට ගොඩවදින බේගල් ගෙන් කතාන්දර අසන්නට රිසි දරුවෝ ඔහු කෑමෙන් බීමෙන් සප්පායම් කරන අතර කුස පුරවා ගත් පසු පෑල දොරින් පැනයාම ඔහුගේ චරිතයේ තිබුණ අහිංසක ලක්ෂණයකි. තොරතුරු බහුල නවීන තාක්ෂණ යුගයක නමුත් අතේ පැලවෙන බොරු වලින් ජීවත්වන බේගල්කාරයන්ගෙන් අඩුවක් නැත.

නිව්යෝක් හි හිටපු නගරාධිපති සහ ලෝක ප‍්‍රකට බ්ලූම්බර්ග් මූල්‍ය මෘදුකාංගයේ නිර්මාතෘ මයිකල් බ්ලූම්බර්ග් බොරුව යනු ත‍්‍රස්තවාදයට වඩා භයානක තර්ජනාත්මක දෙයක් බව ප‍්‍රකාශ කර තිබේ. සීමාවක් නැතිව අසත්‍ය තොරතුරු කියන දේශපාලකයන් ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාත්මක පැත්ත විනාශ කර ඇති අතර ජනතාව මේවා සත්‍යයට විකල්ප යතාර්ථය සේ හිතන්නට හුරු වී ඇති බව ප‍්‍රකාශ කර ඇත. ඇමරිකාවේ දේශපාලනඥයන් නම් වලින් හෙළිදරව් නොකරන්නට මයිකල් බ්ලූම්බර්ග් පරෙස්සම් වී තිබේ. නමුත් බොරු කියන එරට දේශපාලකයන් කවුරුදැයි ඇමරිකානුවන්ට කිසිම රහසක් නොවේ. කිසිසේත් පිලිගත නොහැකි අමූලික බොරු ඇමරිකානු දේශපාලන ව්‍යුහය තුළ සාමාන්‍යයෙන් භාවිතා වෙන බව හෙතෙම ප‍්‍රකාශ කරයි. ඇමරිකාවේ පළමු ජනාධිපති ජොර්ජ් වොෂින්ටන් බාල කාලයේ දී චෙරි ගසක් කැපීමේ සුළු සිද්ධියක් ගැන පවා බොරුවක් ප‍්‍රකාශ නොකරන ලද අතර එවැනි පරමාදර්ශයක සිට අද පවතින දරුණු පිරිහීම ඉතාම නරක එකක් බව ඔහු සඳහන් කර තිබේ.

බොරු කියන දේශපාලනය ඇමරිකාවට පමණක් සීමා වී නැත. ලෝකයේ නොයෙක් රටවල දේශපාලනඥයෝ ජනතාවට බොරු කියති. දැන දැනම අසත්‍ය කියන ජන නායකයෝ මේවායෙන් සිදුවන හානිය ත‍්‍රස්තවාදයටත් වඩා භයානක බව නොසිතන්නේ මන්ද?

මයිකල් බ්ලූම්බර්ග් ගේ ප‍්‍රකාශය සමග ශ‍්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන රටාව ගැන අවධානය යොමුවීම වැලැක්විය නොහැකිය. ජනතා නායකයන් වශයෙන් මෙරට දේශපාලනඥයෝ හැසිරෙන්නේ කෙසේද? සත්‍යගරුක නැත. සදාචාරය හෝ විනය ගැන ප‍්‍රශ්න තිබේ. මහජන මුදල් ඉතාම නරක අන්දමට භාවිතා කරන බව ඔප්පු වී තිබේ. නීතියට ගරු කරන්නේ නැත. ආත්මාර්ථකාමීහු වන අතර බලය වෙනුවෙන්  ඕනෑම තීන්දුවක් ගන්නට සමත් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. තමන්ගේ නම ආරක්ෂා කරගැනීම අරමුණු කරගෙන අවංකව ක‍්‍රියා කරන දේශපාලනඥයන්ට පැවැත්මක් නැත. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

මෙරට පොදු ජනතාවබුද්ධිමත්ය. ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන් කියන දේ වලින් සෑහෙන කොටසක් අසත්‍ය බව ජනතාවට අවබෝධයක් තිබේ. අසත්‍ය කියන දේශපාලනයට පක්ෂ බේධයක් නැත. ඉතා සුළු දෙයක් අසත්‍ය කාරණා වලින් වර්ණවත් කර මහා බොරුවක් වශයෙන් සමාජගත කළහොත් හැරෙන්නට ජනතා අවධානයට ලක් නොවෙන බව මෙරට නායකයෝ සිතන බව පෙනේ. සුළුවෙන් පටන්ගත් බොරු කීම බේගල් තරමට වර්ධනය වී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පවත්වන මැතිවරණ වලින් දේශපාලන නායකයෝ බලයට පත් කර ගැනෙති. ජනතාවගේ බදු මුදල් වලින් සප්පායම් වී අතේ පැලවෙන බේගල් කියා රට රවටන විට ලාංකිකයෝ අහිංසකව බලා සිටිති. ජනමාධ්‍ය වල පෙනී සිටින දේශපාලනඥයන් ගේ කියුම් කෙරුම් වලින් පොදු ජනතාව වින්දනයක් ලබති. නමුත් දේශපාලනයේ මහා බොරුවක තරම ත‍්‍රස්තවාදයටත් වඩා භයානක වන දිනයක් නුදුරු කාලයේ දීම උදාවෙන්නට බැරි නැත. ත‍්‍රස්තවාදයෙන් බැට කෑ සමාජයක් අසත්‍ය කියන දේශපාලනඥයන්ගෙන් සිදුවන හානියක තරම කොපමණ දැයි අවධානයට ගැනීම වටී.