milinda-prashna

2018/05/23 – ලංකාදීප

අනූ දෙහැවිරිදි වියේ පසුවන වෛද්‍ය මහතීර් මොහමඞ් නැවත මලයාසියාවේ අගමැති ධුරයට පත්ව සිටී. දේශපාලනයෙන් ඉවත්ව විශ‍්‍රාම ජීවිතයක් ගත කරමින් සිටි හෙතෙම වසර දෙකකට පමණ කලින් නැවතත් දේශපාලනයට එන බව නිවේදනය කළ අතර ඔහු කියා සිටියේ රට තුළ පවතින දූෂණ සහගත පසුබිම අනුව අකමැත්තෙන් නමුත් එය කරන්නට සිදුවී ඇති බවය. ජනතාව හමුවට පැමිණි මහතීර් අලූත් බලවේගයක් සංවිධානය කරන ලද අතර ‘‘බලාපොරොත්තුවේ එකමුතුව’’ වශයෙන් එය නම් කළේය.

ඡන්දයෙන් පසු පරාජිත අගමැතිවරයාගේ නිවසේ තිබී විදේශ මුදල්, ස්වර්ණාභරණ, අත් ඔරලෝසු සහ වටිනා බැග් ඇතුළු පාර්සල් 284 ක් මලයාසියානු පොලිස් භාරයට ගන්නා අවස්ථාවට සමාන්තරව අලූතින් පත් වූ අගමැති මහතීර් ඉතා මිල අඩු සෙරෙප්පු දෙකක් පැළද කාර්යයක නිරත වන අන්දම දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය පුරා ප‍්‍රචාරය වෙමින් තිබුණි. සාමාන්‍යයෙන් පාසල් සිසුන් පාවිච්චි කරන මෙම ලාබ සෙරෙප්පු පසුගිය වසර හතරක කාලය තුළ මහතීර් සාමාන්‍ය ගමනට පළඳින පාවහන් බවට පත්ව තිබුණ බව මෙම සිද්ධිය ගැන වාර්තා කරන මාධ්‍ය හෙළිදරව් කළේය. ලෝක ජනමාධ්‍ය අතර සැලකිය යුතු අවධානයක් ගත් අගමැති මහතීර්ගේ ලාබ සෙරෙප්පු යුගල ජන නායකයන් ගේ ආදර්ශවත් චාම් පැවැත්ම සම්බන්ධ සංකේතයක් බවට පත්ව ඇත.

ජනතා ඡන්දයෙන් බලයට පත්වන නායකයෝ තනතුර සමග බැබලෙන්නට ප‍්‍රයත්න දරති. මහේශාක්‍ය පැවැත්මකට අනුගත වෙති. ඇදුම පැළදුම, යාන වාහන, ආහාර පාන පමණක් නොව හැසිරෙන ආකාරය ද වෙනස් කිරීම සාමාන්‍ය දෙයක් වී තිබේ. ජනතා දුක අමතක කරන අතර මහජන මුදලින් අති සුඛෝපභෝගී ජීවිත ගත කරන්නට පටන් ගනිති. දුෂණ නැඹුරුව එහි අනෙක් ප‍්‍රතිඵලය බව පෙනේ. ‘බලය සමග එකතුවන ධනය’ ජන නායකයන්ගේ නායකත්ව ගුණාංග විනාශ කරන බව සඳහන් කළ යුතුය. අලූත් නායකයෙකු තෝරා ගන්නා පොදු ජනතාව තුළ විශාල බලාපොරොත්තු ප‍්‍රමාණයක් තිබේ. පරිවර්තනයක් තුළින් අලූත් යුගයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරති. අනාගතය සාක්ෂාත් කරන පියවර ගනු ඇතැයි විශ්වාස කරති. බොහෝ අවස්ථාවල එසේ වෙන්නේ නැත. ජනතා ප‍්‍රසාදයෙන් පත් වන නායකයෝ හැසිරෙන ආකාරය නරකය. එය ලෝකයේ කොතැනත් සාමාන්‍යයෙන් නිරීක්ෂණය කළ හැකිය. නායකයන් කරන, කියන හා හැසිරෙන ආකාරය දකින ජනතාව කලකිරීමට පත්වෙයි. නායකයන් ගේ පැවැත්ම විවේචනය කරන අතර උපහාසයට ලක් කරයි. විශ්වාසය බිඳ වැටෙන ප‍්‍රබල හේතුවක් බව සඳහන් කළ යුතුය.

මහතීර් මොහමඞ් මැතිවරණ පහක් ජය ලබමින් තමන්ගේම කැමැත්තෙන් විශ‍්‍රාම යන තෙක් වසර විසි දෙකක් මැලේසියාව පාලනය කළේය. ධනය හා බලය කෙරෙහි ලොල් නොවූ විශිෂ්ඨ පුද්ගලයෝ පොදු ජනතාවගෙන් ඈත් නොවෙති. මැලේසියාව නැවතත් අනතුරකට පත්වන ලකුණු දැක දේශපාලනයට අවතීර්ණ වූ හෙතෙම ජනතාවගේ ගෞරවයට පාත‍්‍ර වී සිටී. ජනතා මුදලින් යහමින් සැප සම්පත් විඳිනවා වෙනුවට ඔහු තෝරා ගෙන ඇති දාර්ශනික ජීවිතය මහත් ඇගයීමට ලක් ව තිබේ. අගමැති  මහතීර් ගේ සෙරෙප්පු යුගල සංකේතවත් කරන්නේ එයයි.

ලෝකය අලූත් යුගයකට ඇතුළු වී තිබේ. ජන නායකයන් හැසිරන, තීරණගන්නා ආකාරය ගැන ජනතාව බලා සිටී. නූතන මාධ්‍ය ව්‍යුහය සහ සමාජ මාධ්‍ය භාවිතාව එයට ඉවහල් වී ඇත. රටක නායකත්වයට පත් කරගන්නා නායකයා ප‍්‍රභූ තනතුරට ඔසවා තබා මහේශාඛ්‍ය පුද්ගලයෙකු දේ දකින්නට වත්මන් යුගය සූදානම් නැත. තමන්ගේ එදිනෙදා ප‍්‍රශ්න විසඳන, තමන් ගැන සොයා බලන තමන් අතරින් කෙනෙකු විය යුතු බව තහවුරු වී තිබේ. වෛද්‍ය මහතීර් මොහමඞ් ගේ නැවත සම්ප‍්‍රාප්තිය එහි එක පැත්තකි.