milinda-prashna

2018/04/11 – ලංකාදීප

ලෝකයේ වැඩ කරන ජනතාව වෙනුවෙන් දිනයක් තිබේ. එය කම්කරු දිනය වශයෙන් නම් කර ඇත. මැයි මාසයේ පළමු වැනිදා වැඩකරන ජනතාව වෙනුවෙනි. වැඩ කරන ජනතාව හා පාලකයා අතර අයිතිවාසිකම් අරභයා ඇත්තේ අවසානයක් නැති සටනකි. ආරම්භක වකවානුවේ දී මෙම වෘත්තීය අරගලය වෙනුවෙන් කදුළින් සහ රුධිරයෙන් කරන ලද කැපවීම අද ලබා ඇති ජයග‍්‍රහණයන් හි පදනමයි. වැඩකරන ලද ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අසීමිත ධෛර්යයකින් නැගී සිටි ජන නායකයන්ගේ දැක්ම මැයි දිනයේ සංකේතය වී ඇත. යුරෝපා රටවල වසන්ත කාලයේ කරන උත්සව වලට ඇතුළු වූ අංගයක් වන මැයි දිනය වාමාංශික නායකයන් ගේ අනුදැනුමෙන් මෙරටට ද එකතු විය.

වෙසක් පුන් පොහොය දිනය සහ මැයි දිනය සැමරීම එය කාරණා දෙකම එක වකවානුවක සිදුවීම පදනම් කරගෙන මැයි පෙලපාලි සහ ජන රැළි පැවැත්වීම ගැන වෙනස් අදහස් මතු වී තිබේ. මැයි දිනය වෙනත් දිනයකට එනම් මැයි හත් වැනි දා ට කල් දමා රජයේ නිවාඩුවක් ප‍්‍රකාශ කිරීමට රජය තීරණයක් ගෙන තිබේ.

චක‍්‍රවර්තී රජකමට පත්වන්නට පසුබිම තිබුණ බෝසත් සිද්ධාර්ථ කුමාරයාණෝ සියළු සම්පත් හැර විමුක්තිය අනාවරණය කරගත්හ. එය සමස්ථ ලෝක ප‍්‍රජාවට බෙදා දුන්හ. ශ‍්‍රී ලංකාවාසීන් අතරින් විශාල බහුතරයක් බුද්ධ දර්ශනයෙන් හෙළි කරන මැද පිලිවෙත අනුමනය කරති. බුදු දහම ජීවිතයට ගැලපෙන නිසි මාවත වශයෙන් තෝරාගෙන සිටිති. මහා කාරුණිකයාණන් වහන්සේ වෙත කෘතෝපවේදීත්වය උදෙසා වෙසක් උත්සවය පැවැත්වීම සුදුසුය. එය වෙනුවෙන් කරන නිස්සාර දේ වෙනම සාකච්ඡා කළ හැකිය.

කම්කරු නායකයන් ද ජනතාවගේ විමුක්තිය උදෙසා ගෙන ගිය ව්‍යාපාරය පැත්තකට කළ හැකි දෙයක් නොවේ. නමුත් කම්කරු දිනය සම්බන්ධව පවතින වර්තමාන පසුබිම, නව ප‍්‍රවනතා සහ ජනතා ආකල්ප අනුව එය කරගෙන යන ආකාරය ගැන බරපතල විවේචනයක් තිබේ. පළමු කර්මාන්ත යුගයේ සංකල්ප අද උදා වී ඇති හතරවැනි කර්මාන්ත යුගයට ගලපා ගන්නේ කෙසේදැයි අප කල්පනා කළ යුතුය. නූතන කර්මාන්ත යුගය ඥානණීය වකවානුවක් සේ සැලකේ. බාහු ශක්තියට වඩා බුද්ධියට තැනක් ලැබී ඇත. කම්කරුවා ද හුදෙක් ආයුධ අතට ගෙන පොලව කණින පුද්ගලයෙකු නොව නවීන මෙවලම් පරිහරණය කරන බුද්ධිය වෙහෙයවා සේවය කරන පුද්ගලයෙකි. ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බලකාය තුළ පවා තාක්ණය හා කාර්මීකරණය යන පැති වල පවතින පරිවර්තනය විශාල එකකි.

එවැනි යුගයක ජීවත්වන මෙරට ශ‍්‍රම බලකාය තව දුරටත් කම්කරු දිනයකට සීමා කිරීම අර්ථ විරහිතය. ජනතාවගේ බුද්ධියට ගරු කරන ප‍්‍රතිපත්තියකට යොමු විය යුතුය. මෙරට පවතින රදල ලක්ෂණ යහමින් ඇති දේශපාලන ක‍්‍රමය එයට ඉඩ දෙන්නේ නැත. කම්කරු දිනය නඩත්තු කරන්නට දේශපාලන ව්‍යාපාර වලට අවශ්‍යව තිබේ. පක්ෂයේ බලය පෙන්වන අනාගාමිකයන් කැඳවා පක්ෂ නායකයන් වේදිකාවට ඔසවා තබන ව්‍යාපාරයක් වශයෙන් මැයි දිනය සංවිධානය කරන බව පැහැදිලිව පෙනේ. තරුණ බුද්ධිමත් පිරිස මෙම පසුබිම හªනාගෙන සිටිති. නමුත් දේශපාලන ග‍්‍රහණයෙන් ගැලවෙනු නොහැකි අතරමැදි තැනකට කොටු වී සිටී.

අලූත් පරිවර්තනයක් උදෙසා අලූතින් හිතන්නට අවශ්‍යය. කම්කරු දිනය කාලානුරූපව වෙනස් විය යුතුය. දේශපාලනඥයන් ගේ ඉලක්ක සාක්ෂාත් කරනු වෙනුවට සමාජ අභිවෘද්ධිය ගැන කල්පනා කිරීම වැදගත්ය. ජන විඥාණය  ගැලී ඇති මෙකල පවතින ගතානුගතික රාමුවෙන් මුදවා ගැනීම සුදුසුය. මැයි දිනය තමන්ට පහසු දිනයක පවත්වන්නට මෙරට දේශපාලන පක්ෂ කිසිම විරුද්ධත්වයක් රහිතව එකතුවීම එවැනි ප‍්‍රබෝධයක් ඇති කිරීම වැලැක්වීමට සාධකයක් වී තිබේ. ජනතාවගේ කැමැත්ත, ජනතාවගේ සිතිවිල්ල සහ ජනතාවගේ අභිලාශය මෙහි දී ඉතා වැදගත්ය.