milinda-prashna

2018/03/28 – ලංකාදීප

දුප්පත්කම විශාල ගැටළුවකි. ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් ජීවිතය ගත කරන්නේ අපහසුවෙන්ය. කුස පිරෙන්නට ආහාර වේලක්, සැනසිල්ලේ නිදන්නට තැනක් අහිමි අසරණ ජන කොටසක් සිටී. එක පැත්තකින් විශාල සංවර්ධනයක් කරා යොමු වන අවස්ථාවක එහි ප‍්‍රතිලාභ අහිමි වන සීමිත පිරිස ගැන ලෝක ප‍්‍රජාව නොයෙක් ආකාරයට අවධානය යොමු කරන බව පෙනේ.

දිළිදු ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණයෙන් සපයන්නට ආණ්ඩු අසමත්ය. කොපමණ දියුණු රටක පවා ආහාර හෝ නවාතැන් වෙනුවෙන් යදින ජන කොටසක් ඇත. ඉහළ පැලැන්තිය අතුරින් සමහර දෙනෙකු අප‍්‍රසන්නව කොන් කරනු ඇති නමුත් දුප්පතුන්ගේ මූලික අවශ්‍යතා සම්පාදනය කිරීම  බලවත් වගකීමකි. දුප්පත්කම දුරු කරන්නට නොයෙක් රටවල් ආණ්ඩු මට්ටමින් විවිධ සහනාධාර ක‍්‍රම පවත්වාගෙන යයි. ලෝක නායකයෝ දරිද්‍රතාවය තුරන් කරනු සඳහා සැලසුම් යෝජනා කරන අතර ඒවා සකස් කරන්නේ සෑහෙන සාකච්ඡා සම්මන්ත‍්‍රණ අවසානයේ දීය. විද්වත්හු නොයෙක් අදහස් ඉදිරිපත් කර දුප්පත් ජනතාව නගා සිටුවන ප‍්‍රයත්න අනාවරණය කරන අතර ඒවායෙන් යහපත් ප‍්‍රතිඵල ද ලැබේ. බලවත් සමාජය දුප්පතුන් ගේ ලෝකය වෙනස් කරන්නට කරන සැලසුම් ගැන අප‍්‍රමාණ විවේචන ද තිබේ.

එදිනෙදා ජීවත් වෙන්නට වැර දරන අසරණ පිරිස වෙනුවෙන් වෙනස් අන්දමට අවධානය යොමු කළ සිද්ධි දෙකක් මෑතක දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබුණි. ඒවායෙන් හෙළිදරව් කරන පැති ගැන අවබෝධයක් ලැබීම  වැදගත්ය. ආදර්ශයක් ගෙන ඉතාම දුගී දුප්පත් පිරිස වෙත මානුෂික මෙහෙවරක් ඉටු කිරීමට පියවර ගැනීම සුදුසුය.

පළමු වැනි තොරතුර කැන්ටබරි දේවස්ථානයෙන් අනාවරණය වෙයි. එහි ආච්බිෂොප්වරයා සීතලෙන් පීඩා විඳිමින් රාත‍්‍රි කාලයේ එළිමහනේ නිදාගන්නා දුප්පතුන්ට දේවස්ථානයේ දොරටු විවෘත කර ඇත. බි‍්‍රතාන්‍ය පලාත් පාලන ආයතන සුබ සාධන වියදම් කපා හැරීමට උත්තරයක් වශයෙන් මෙම තීරණය ගෙන තිබේ. කැන්ටබරියෙහි දේවස්ථාන කොටස් හතකට වෙන් කරගෙන ඇති අතර එක කොටසක් එක දිනයකට රාත‍්‍රී නවාතැන් මධ්‍යස්ථාන බවට පත් කෙරේ. එයට අමතරව ආහාර සැපයුම්, රාත‍්‍රී නවාතැන්, ණය උපදේශක මධ්‍යස්ථාන වශයෙන් තුන් පැත්තකින් අසරණ ජනතාවට පිහිටවීම අරමුණු කරගෙන දේවස්ථාන ජාලයක් සංවිධාන කර ඇත.

අනෙක් වාර්තාව ලැබෙන්නේ ද ලන්ඩන් නගරයෙන්ය. මාර්ක් ඇන්ඞ් ස්පෙන්සර් සුපිරි වෙළඳ සැල් ජාලය නගරයේ එළිමහනේ නිදන දුප්පතුන් වෙනුවෙන් රාත‍්‍රී ගත කරන තැන් පිහිටුවා ඇත. ඉතාම ධනවත් පාරිභෝගිකයන් ගැවසෙන මෙම වෙළඳ සැල් ඉදිරිපිට දුප්පතුන් රාත‍්‍රියේ නිදා සිටි අතර එයින් සිදුවන හිරිහැරය වලකනු සඳහා ඉතාම අප‍්‍රසන්න හඞක් පතුරවන නලා ශබ්ධ ඇති කර ඔවුන් පලවා හරින්නට කලින් පියවර ගෙන තිබුණි. නමුත් මානුෂික පැත්ත සලකා බලන ලද මෙම සමාගම මූලික පහසුකම් සහිත තැන් දුප්පතුන් වෙනුවෙන් අලූතින් තනා ඇති අතර අසරණ අය අතරින් තෝරා ගත් අය සිය සේවකයන් වශයෙන් බඳවා ගන්නට ද තීරණය කර තිබේ.

කැන්ටබරි දේවස්ථානය කේන්ද්‍ර කරගෙන ඇරඹුණ සේවාව සහ මාර්ක් ඇන්ඞ් ස්පෙන්සර් සුපිරි වෙළඳ සැල් ජාලය දුප්පතුන්ට පිලිසරණ වන ආකාරය පැසසුමට ලක් වී ඇත. අවුරුදු ගණනක් කොතැනකින් හෝ ලැබුණ දෙයකින් කුස පුරවාගෙන කොතැනක හෝ වැටී නිදා ගන්නට හුරු වී සිටි පිරිසකට සුබ සිහින දකින්නට මෙම අවස්ථාව ප‍්‍රයෝජනවත් වී තිබේ.

පවතින සම්පත් සහ අවකාශය ඒවා අහිමි ජන කොටස් සමග බෙදා හදා ගැනීමට නැඹුරුවීමෙන් ලෝකය යහපත් තැනක් බවට පත් වෙයි. ශ‍්‍රී ලංකාවේ ද ඉතා සුළු පිරිසක් නගර ආශ‍්‍රිතව බස් නැවතුම් පොල වල හෝ වෙළඳ සැල් අහුමුළු වල රාත‍්‍රිය ගත කරමින් සිටී. ඔවුන්ගේ ජීවිත විචිත‍්‍ර කරන්නට ආගමික ස්ථාන වලට හෝ ව්‍යාපාරික ස්ථාන වලට ඉදිරිපත් විය හැකිය. ආණ්ඩුවව හෝ පලාත් පාලන ආයතන එක්තරා ප‍්‍රමාණයකින් අසමත් වී ඇති සමාජ සුබසාධන අංශය කෙරෙහි යම් අවධානයක් ඇති කිරීම අවශ්‍යය.