milinda-prashna

2018/03/07 – ඉරිදා ලංකාදීප

පලාත් පාලන මැතිවරණය අවසන්ය. එහි ප‍්‍රතිඵලය ඇති කරන ලද සමාජ ජීඩනය තවමත් පවතී. අලූත් මැතිවරණ ක‍්‍රමයක් මෙවර අනුගමනය කළේය. කොට්ඨාශ මට්ටමින් කෙලින්ම පත්කරන සහ පක්ෂය ලබා ගත් ඡන්ද ප‍්‍රමාණය පදනම් කරගෙන අනුපාත ක‍්‍රමයට අපේක්ෂකයන් තෝරා ගැනෙන ක‍්‍රමවේදයකි. අලූත් මැතිවරණ ක‍්‍රමයෙන් පලාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. පත් වූ සභික සංඛ්‍යාව ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරිමට නියමිත අතර එම ප‍්‍රමාණය 8,600 ඉක්මවනු ඇතැයි අනාවණය වෙයි.

ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා වෙනුවෙන් පත් වූ සභික නියෝජිතයන්ට පහසුකම් සැපයීම අභියෝගයක් වී තිබේ. අවසන් සැසිවාරය තෙක් නියෝජිතයන් හාර දහස් හාරසියයක පමණ පිරිසක් පත්ව සිටි නමුත් අලූත් ක‍්‍රමය අනුව සංඛ්‍යාව දළ වශයෙන් දෙගුණයක් වී ඇත. වැඩි නියෝජනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන නමුත් මෙම මහජන නියෝජිතයන් නඩත්තු කිරීම පහසු කටයුත්තක් නොවේ.

පලාත් පාලන ආයතන වල රැස්වීම් ශාලා ප‍්‍රමාණවත් නොවන හෙයින් අලූතින් ඉඩ කඩ සොයන්නට වෙහෙසෙන්නට සිදුවී තිබේ. ඇතැම් ආයතන රැස්වීම සඳහා ශාලා කුලියට ගන්නට අපේක්ෂා කරන බව අනාවරණය වෙයි. මහජන ඡන්දයෙන් පත්වන නියෝජිතයෙකුට ආසනයක් පැනවීම හා පහසුවෙන් වැඩ කරගෙන යන්නට ඉඩ දීම වැදගත් විය හැකිය. නමුත් එම වියදම ජනතාවට හිරිහැරයක් විය යුතු නැත. ප‍්‍රදේශවාසී ජනතාවගෙන් අය කරන පිරිවැටුම් බදු සහ වෙනත් ගාස්තු වලින් පවත්වාගෙන යන පලාත් පාලන ආයතන එකී ආදායමෙන් පොදු පහසුකම් නංවනු වෙනුවට පත්වන සභිකයන් නඩත්තු කරන්නට නැඹුරු වීම සාධාරණ නැත.

පලාත් පාලන ආයතනයක සභා වාර පවත්වන්නේ මාසයකට එක වතාවකි. එම සැසි වාරයට ද සම්පූර්ණ සභිකයන් වාර්තා කරන්නේ නැත. නොපැමිණීමට නොයෙක් හේතු බලපාන්නට ඉඩ තිබේ. සභාවාරයට එන පක්ෂ විපක්ෂ නියෝජිතයන් ආරවුල් ඇතිකරගෙන අඩ දබර කරගන්නා අවස්ථා මෑත කාලය තුළ බහුලව වාර්තා විය. එසේ තිබිය දී ජනතා මුදල් තව තවත් වියදම් කර සැසිවාර වෙනුවෙන් ශාලා කුලියට ගැනීම අවශ්‍ය ද යන ප‍්‍රශ්නය මතු කළ යුතුව තිබේ.

බි‍්‍රතාන්‍ය සාමි මණ්ඩලයේ සාමාජිකයෝ 774 කි. සාමි මණ්ඩල ශාලාවේ ආසන ඇත්තේ උපරිම වශයෙන් 400 කට පමණකි. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ද ආසන ප‍්‍රමාණයට වඩා මැති ඇමැතිවරු සිටිති. එහි ඇති ආසන ප‍්‍රමාණය 426 කි. නමුත් එක සැසි වාරයකට සහභාගීවීමට සිටින මැති ඇමැති ප‍්‍රමාණය 650 කි. උණුසුම් පණතක් විවාදයට ගැනෙන දිනයක බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසනයක් අල්ලා ගැනීම පහසු නැත. අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න අහන දිනයට විශාල තරගයක් ඇත. ආසනයක අසුන් ගන්නට අවස්ථාවක් නැති බි‍්‍රතාන්‍ය මන්තී‍්‍රවරු සභා ගැබෙහි තෙරපෙමින් සිටිති. වාඩිවෙන්නට ආසනයක් නැති සාමි මණ්ඩලය හෝ වෙස්මිනිස්ටර් ශාලාවේ පහසුකම් නැති හෙයින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු කිසිසේත් නිගරුවට පත් වී නැත. පාර්ලිමේන්තුවේ රුඳී සිටීම අවශ්‍යම නැති අවස්ථාවක තම සගයෙකුට ආසනය පවරා පැත්තකටවීම බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරුන් අනුගමනය කරන අලූත් සම්ප‍්‍රදායක් බවට පත්ව තිබේ,

බි‍්‍රතාන්‍ය සාමි මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට සැසිවාරයක දී වාඩි වෙන්නට ආසනයක් නැතිවීම ප‍්‍රශ්නයක් වී නැත. එය අගෞරවයක් සේ නොසලකා වරප‍්‍රසාද ප‍්‍රශ්න මතු නොකර ඉවසන බව සඳහන් කළ යුතුය. බි‍්‍රතාන්‍යයෙන් පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ඉගෙන ගත් ශ‍්‍රී ලංකාවේ මහජන නියෝජිතයන් එය ආදර්ශයට ගත යුතුය. පලාත් පාලන ආයතනයක, පලාත් සභාවක හෝ පාර්ලිමේන්තුවේ තමන්ගේ නමට ආසනයක් තිබීම සහ මහජන නියෝජිතයෙකු වශයෙන් ඉටු කරන නිසි කාර්ය භාරය අතර විශාල පරතරයක් තිබේ. රට වෙනුවෙන් සේවය කිරීම හැර පුද්ගලිකව ලබන වරප‍්‍රසාද කිසිසේත් වැදගත් නැත.