milinda-prashna

2018/02/14 – ලංකාදීප

පලාත් පාලන ඡන්දය අවසන්ය. එහි ප‍්‍රතිඵලය ගැන විවිධ කෝණ වලින් විශ්ලේෂණ පළවෙයි. ජයග‍්‍රහණය සඳහා තරග කරන ලද පමණක් නොව ප‍්‍රමාණවත් ඡන්ද ලබා ගැනීමට අපොහොසත් වූ අපේක්ෂකයන්ට ද ප‍්‍රදේශයේ පැවැත්ම යහපත් පැත්තට හැරවීමේ වගකීමක් තිබේ. දේශපාලන පක්ෂයක් හෝ ස්වාධිනව වෙන්ව තරග කළේ ඡන්දය වෙනුවෙන්ය. සටන අවසන්ය. බේධ අමතක කළ යුතුය. තමන් ජීවත්වන ප‍්‍රදේශය ගොඩනැගීම ජනතාවගෙන් සුළු ඡන්ද ප‍්‍රමාණයක් හෝ ලබාගත් සියළු දෙනා ගේ යුතුකමකි.

ප‍්‍රාදේශීය සභාව, නගර සහාව සහ මහ නගර සභාව යන අංශ ජනතා ආයතනයි. පොදු ජනතාවගේ එදිනෙදා කටයුතු කරගැනීම සඳහා ඒවායෙන් සේවාව සැපයේ. රජයේ නිලධාරීන් එහි කාර්ය ඉටු කරන අතර පොදු ජන අවශ්‍යතා පරිදි විධි විධාන සකස් කිරීම මහජන නියෝජිතයන් ගේ වගකීමයි. පත් කරගත හැකි සීමිත පිරිස තෝරා ගැනීමෙන් පසු තරග කරන  ලද සෙසු පිරිස ද දක්ෂ නායක පිරිසකි. එම අය ඈත් කිරීම නොව සමීප කරගැනීම පලාත් පාලන ව්‍යුහයේ දර්ශනය විය යුතුව තිබේ.

ඉතිහාසය අධ්‍යයනය කරන විට ආණ්ඩු හා පලාත් පාලන ආයතන අතර විශාල පරතරයක් තිබුණි. ගම්සභාවට දේශපාලනය යහමින් තිබුණේ නැත. ස්වේච්ඡා

වෙන් ඉදිරිපත් වූ පිරිසක් ඉතා කැපවීමෙන් තමන් ජීවත්වන ප‍්‍රදේශයේ අඩුපාඩු සොයා බලා සම්පූර්ණ කරගත්හ. දශක කිහිපකට පසු පලාත් පාලන ව්‍යුහය දේශපාලන බල අරගලයේ කොටසක් බවට පත්ව ඇති අතර පොදු ජනතාව හා මහජන නියෝජිතයන් අතර පරතරයක් ගොඩනැගෙමින් තිබේ. එය නුසුදුසු තත්ත්වයකි.

අලූතින් පලාත් පාලන ආයතන වලට පත් වූ මහජන නියෝජිතයන් හා ප‍්‍රදේශයේ ජීවත්වන ජනතාව අතර සම්බන්ධය අඛණ්ඩව පවත්වාගෙන යන්නට පහසුව සලසන ක‍්‍රමයක් අවශ්‍යව තිබේ. පුරවැසි උපදේශක කමිටු පිහිටුවීම යොජනාවක් වශයෙන් ඉදිරිපත් කළ හැකිය. සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ මහතා එය අදහසක් වශයෙන් ඉදිරිපත් කළේ 1963 දීය. ජන කොටස් අතර ගැටුම් වලක්වා මිත‍්‍රත්වය ඇතිකරන ඒකක වශයෙන් ආරම්භ කර පසුව පුරවැසි උපදේශක කමිටු බවට හැරවීය. එය ජනතාව හා මහජන නියෝජිතයන් අතර සංවාදය පවත්වාගැනීමට ඉවහල් වූ භව සඳහන් කළ යුතුය.

පලාත් පාලන ආයතනයක බල ප‍්‍රදේශය තුළ ග‍්‍රාමසේවා වසම් මට්ටමින් පුරවැසි උපදේශක කමිටු පත් කළ හැකිය. ගමේ නායකත්වය ගන්නට කැමැති අයටත් වැඩිහිටි දැන උගත් අයටත් එය විවෘත කිරීම සුදුසුය. අවශ්‍යනම් ග‍්‍රාම නිලධාරී මහතා ලේකම් වශයෙන් පත් කරගැනීම සුදුසුය. මාසයකට වතාවක් හමුවී පොදු දේ ගැන සාකච්ඡා කළ හැකි අතර එයින් මතුවන කරුණු සමග එක නියෝජිතයෙකුට ප‍්‍රාදේශීය සභාව හෝ මහ නගර සභාවේ රුස්වීමට කරුණු වාර්තා කරන්නට පසුබිම සකස් කරගැනීමට හැකිය. ඡුනතා ඡුන්දයෙන් පත්වන නියෝජිතයන්ට අමතරව සමාජ සේවාවක් වශයෙන් ගම ගැන උනන්දු පිරිසකට ද හ`ඩ මතු කරන්නට අවස්ථාව ලැබේ.

අලූත් ඡුන්ද ක‍්‍රමයක් මගින් අලූත් ව්‍යුහයක් හදා පලාත් පාලන ආයතන වලට නියෝජිතයන් පත් කරගත් පසු එය විශාල ජයග‍්‍රහණයක් බවට හැරෙන්නේ කි‍්‍රයාත්මක වන ස්වභාවය අනුවය. ජනතා සහභාගීත්වය ඉතාම වැදගත්ය. කැළි කසල බැහැර කිරීම, වැසි ජලය පාලනය සිට අනවසර ඉදිකිරීම් ගැන පවා දන්නේ ජනතාව හැර දුර බැහැර අය නොවේ. ඔවුන්ට නිදහසේ කතා කර තමන්ගේ අවශ්‍යතා මතුකර සාකච්ඡාවට ගත හැකි සහ ඒවා ඉටුකරගත හැකි පසුබිමක් හදාගත හැකි නම් පලාත් පාලනයෙන් ජනතාවට ලබා ගත හැකි ජයග‍්‍රහණය එයයි. පුරවැසියන් එකතු වී තම තමන්ගේ අදහස් මතුකරන පොදු වේදිකාවක් සේ පුරවැසි කමිටු ඇති කර ඒවා පලාත් පාලන ආයතනයට සම්බන්ධ කළ හැකි නම් රට තුළ පලාත් පාලන ව්‍යුහයේ වෙනසක් කරන්නට යම් අවස්ථාවක් නිර්මාණය කරගත හැකිය.