milinda-prashna

2018/02/07 – ලංකාදීප

ශ‍්‍රී ලංකාව විදුලිබලයෙන් වාහන ධාවනය කරන අලූත් යුගයට ඇතුළු වීමට සූදානම්ය. මෙම වසරේ අය වැය මගින් විදුලි වාහන වලට විශේෂ බදු සහන ප‍්‍රකාශයට පත් කර තිබේ. විදුලිය බලයෙන් ධාවනය වන බස් රථ පනහක් මිල දී ගැනීමට මුදල් වෙන් කර ඇත. වසර 2040 වන විට ඉන්ධන වාහන භාවිතය අඩු කරන්නට රජය තීරණය කළේය. මෙරට වාහන භාවිතා කරන අය අතරින් සැලකිය යුතු පිරිසක් විදුලි බලයෙන් ධාවනය වන වාහන පාවිච්චි කරන බව පෙනේ. ඉදිරියේ දී එය තවත් වර්ධනය වනු ඇත. මහා මාර්ගයේ ධාවනය වන වාහන විදුලි බලයට හැරෙන විට ඒ වෙනුවෙන් අවශ්‍යකරන යටිතල පහසුකම් දියුණු කරනු සඳහා අවධානය යොමු කිරීම අවශ්‍යය.

බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකට තෙල් සමාගමක් වන ෂෙල් ආයතනය අලූත් පැත්තකට හැරී තිබේ. සිය ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථාන ආශි‍්‍රතව වාහන විදුලි ආරෝපන ඒකක පිහිටුවීම පසුගිය වසරේ දී ආරම්භ කළේය. බී.පී. නමැති එරට තවත් ඛනිජ තෙල් බෙදා හරින සමාගමක් මෙයට සති කිහිපයකට කලින් ඔවුන්ගේ ඉන්ධන අලෙවි කරන ෂෙඞ් වල වාහන විදුලිය ආරෝපන මධ්‍යස්ථාන පිහිටුවීය. මෙම ආයතන දෙක තෙල් පමණක් නොව විදුලිය මගින් චාර්ජ් කිරීමේ සේවාව ද පවත්වාගෙන යයි. ෂෙල් සමාගම දක්වන අන්දමට වාහන වල බැටරි පද්ධතිය පැය භාගයක් ඇතුලත සියයට අසූවකින් බල ගැන්වීමට මෙම ආරෝපන මධ්‍යස්ථාන සමත්ය. සමාගම සිය ඉන්ධන පිරවුම්හල් තුළ ඉලෙක්ටි‍්‍රක් වාහන ආරෝපනය කරන්නේ ඇයි යන ප‍්‍රශ්නයට ද උත්තර දී තිබේ. වසර දහයකට කලින් එකම විදුලිය වාහනයක් වත් නොතිබුණ ලන්ඩන් නගරය තුළ දිනකට විදුලියෙන් ධාවනය වන වාහන ලක්ෂ ගණනක් පාවිච්චි කරන අතර ඉදිරි වසර දහය තුළ එය වේගයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සැලකේ. ඉන්ධන විකිණෙන්නේ නැති පිරවුම්හල් වෙනුවට වාහන ආරෝපනය කරන තැන් බවට ඒවා හැරවෙමින් තිබේ.

ඉන්ධන පිරවුම් හල් වාහන විදුලි ආරෝපන ඒකක පිහිටුවන්නේ ඇයි? එය පාරිභෝගික අවශ්‍යතාවය වන බව පැහැදිලිව පෙනෙන හෙයින්ය. ලෝකයේ නොයෙක් රටවල් ඉදිරි දශක කිහිපය තුළ භාවිතා කරන වාහන ඉන්ධන පරිභෝජනයෙන් තොර වනු ඇතැයි අපේක්ෂා කරයි. ඇතැම් ප‍්‍රධාන නගර දින වකවානු නියම කර ඛනිජ තෙල් වාහන ගමනාගමනය නතර කරන්නට සූදානම් වෙයි. මෝටර් රථ නිපදවන ප‍්‍රධාන පෙලේ සමාගම් ගණනාවක් ඉදිරි කාලය තුළ එන්ජිමක් නැති වාහන නිපදවන අරමුණ ඇතිව සිටී. එය රථවාහන ඉන්ධන භාවිතය බිංදුව දක්වා අඩු කරන සැලැස්මක එක කොටසක් වනු ඇත.

ශ‍්‍රී ලංකාව ද මෙම ස්වභාවයට නැඹුරු විය යුතුය. මෙරට ඉන්ධන අලෙවියෙහි නිරත සමාගම් වලට පමණක් නොව ඉන්ධන බෙදාහරින ෂෙඞ් වලට ද පැවැත්ම ගැටළු සහගත වියහැකි දිනයක් ලඟා වෙමින් තිබේ. ඉන්ධන පමණක් නොව වාහන වල බැටරි ආරෝපනය කරන්නට ද මෙම තැන් වල පහසුකම් ඇති කිරීම සුදුසුය.

මෙරට විදුලි වාහන භාවිතය වැඩි වෙමින් පවතින අතර තවමත් ඒවා ප‍්‍රධාන නගර අවට ධාවනයට සීමා වී තිබේ. නගරයෙන් තවත් නගරයකට ගමන් කරන විට ඒවා නැවත චාර්ජ් කරගැනීමට අවස්ථා නැත. රට තුළ ප‍්‍රධාන නගර වල අලූත් ඉඩම් සොයාගෙන අලූතින් වාහන බැටරි ආරෝපනය කරන්නට තැන් සකස් කරන අතර තුර පවතින තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථාන ආශි‍්‍රතව චාර්ජ් කිරීමේ පහසුව ඇති කරන්නට ඇති හැකියාව සොයා බැලීම අවධානය යොමු කළ යුතු පැත්තකි.