milinda-prashna

2018/01/03 – ලංකාදීප

ඉ-එස්තෝනියාව එළැඹන සියවසට මුහුණ දීමට සූදානම්ය. නවීන තොරතුරු තාක්ෂණය උපරිමව භාවිතා කරන අතර එමගින් ඉතාමත් දියුණු තාක්ෂණික සමාජයක් ගොඩනගන්නට සමත් ව ඇත.  2014 වසරේ දී එස්තෝනියානු රාජ්‍යය ඉ-පුරවැසිභාවය පිලිගත්තේය. එයට අනුව ලෝකයේ ඕනැම රටක පුරවැසියෙකුට තාක්ෂණික සම්බන්ධතා උපයෝගීකරගෙන එස්තෝනියාවේ තාවකාලික පුරවැසි භාවය අයැදුම් කළ හැකිය.  එස්තෝනියාවට පැමිණ අනන්‍යතාවය තහවුරු කරන්නට අවශ්‍ය නැති මෙම ක‍්‍රමය අනුව  ලියැකියැවිලි පුරවා ගුවන් ගමන් බලපත‍්‍රය සමග අයැදුම් කළ විට වසර තුනක් සඳහා වලංගු පුරවැසි භාවයක් ලැබේ. එස්තෝනියානු පුරවැසියෙකු වශයෙන් එරට වරප‍්‍රසාද ලැබෙන ජාත්‍යන්තර  ඕනෑම කටයුත්තකට සහභාගී වන්නට එයින් අවසර ලැබේ. ආයෝජන, බදු පහසුකම් හෝ අන්තර්ජාල බැංකුකරණයට ඉඩකඩ ඇත. එස්තොනියානු පුරවැසියෙකු වශයෙන් ව්‍යාපාරයක් එරට ආරම්භ කරන්නට ද අවකාශය තිබේ.

එස්තෝනියාව උතුරු යුරෝපීය රටකි. කාලයක් සෝවියට් දේශය යටත් කරගෙන සිටියේය. මිලියන 1.5 ක පමණ ජනගහනයක් ජීවත්වන අතර 1991 වසරේ දී ස්වාධීනන්යට ලැබීය. එස්තොනියාව ඉ- ආණ්ඩුකරනට ආරම්භ කළේ රට නිදහස ලබා අවුරුදු හයක් වන විට දීය. අද වන විට පුරවැසියන්ට සිය උවමනා එපාකම් වලින් සියයට අනූනමයක්ම අන්තර් ජාලය සම්බන්ධ කරගෙන කරගත හැකිය. රජයේ කාර්යාල වල ගැවසීමට කිසිම උවමනාවක් නැත. 2000 වසර අවසන් වන විට එරට සියළුම බදු ලිපි ගොනු පරිගණක ගත කළේය. පුරවැසියන්ගෙන් සියයට අනූපහක් බදු කටයුතු අන්තර්ජාලයෙන් කරන අතර ලිපිගොනු නිසි කලට යාවත්කාලීන වන හෙයින් බදු ගෙවීම සඳහා විනාඩි තුන හතරකට වඩා වැය නොවේ. එක්ස් රෝඞ් සංකල්පය යටතේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ ව්‍යවසාය අතර දත්ත සම්බන්ධතාවයක් තිබේ.  ඕනෑම විමසීමක් කළ හැකි අතර දවසේ පැය විසි හතරම දත්ත යාවත්කාලීනය. බදු, වෛද්‍ය ප‍්‍රතිකාර, සෞඛ්‍ය රක්ෂණ, ඉඩම් ලේඛන, නිවාස තොරතුරු යන අංශ පහ ගැන වැඩිම විමසීම් ලැබෙන බව වාර්තා වෙයි. විද්‍යුත් හැදුනුම්පතක් සෑම පුරවැසියෙකුටම ඇත. එය උපයෝගීකරගෙන රහස්‍ය භාවය ආරක්ෂා කරගනිමින් ආණ්ඩුකරණ ක‍්‍රියාවලියට එකතු විය හැකිය. බැංකු ව්‍යාපාර කටයුතු වලට පමණක් නොව  ඕනෑම නීත්‍යානුකූල ලියැවිල්ලකට විද්‍යුත් හැදුනුම්පත උපයෝගී කරගෙන අත්සන් කළ හැක.

ඉ-ඡන්දය ප‍්‍රකාශ කිරීම ඇරඹෙන්නේ 2005 වසරේ දීය. එස්තෝනියාව ලෝකයේ පළමු වරට  ඡන්ද ක‍්‍රමය පවත්වන ලද රට බවට පත්ව තිබේ. ඡන්දය ප‍්‍රකාශ කිරීඹට ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ පෝලිමේ සිටින්නට අවශ්‍ය නැත. ඡන්දය දිනයේ දී අන්තර්ජාලය මගින් ලෝකයේ  ඕනෑම තැනක සිට තම ඡන්දය ප‍්‍රකාශ කළ හැකි අතර එය ක්ෂණික ගණන් කිරීමට ලක්වෙයි.  පුරවැසි ආරක්ෂාව තවත් වැදගත් සංකල්පයකි. ජනතාවගේ ආරක්ෂාව 2007 වසරේ සිට නූතන තොරතුරු තාක්ෂණයට සම්බන්ධය. පොලිසිය, ගලවාගැනීමේ සේවා හා හදිසි ප‍්‍රතිකාර ක්ෂණිකව මෙහෙයැවෙයි. ඉකුත් වසර විස්ස තුළ දී වසරින් වසරම හදිසි අනතුරු වලින් සිදුවන මරණ පහත වැටී තිබේ.

සෞඛ්‍ය, අධ්‍යාපන හා ප‍්‍රවාහන ඇතුළු සියළු අංශ තොරතුරු තාක්ෂණයට සම්බන්ධකර තිබේ. ලෝකයේ වෙනත් රටවල් වලට කලින් එස්තොනියාවේ මාර්ග වල රියැදුරු රහිත වාහන ගමනාගමනය අරඹන්නට සූදානම්ය. සියළු නාගරික හා ගම්බද මාර්ග වල රියැදුරු රහිතව ස්වයංකී‍්‍රයව ධාවනය වන වාහන හදුන්වාදීම ඉදිරියේදී සිදුවනු ඇත. එය බුද්ධිමය ගමනාගමනයක් වන අතර සියළු තොරතුරු නිරවද්‍යව වාර්තාවන හෙයින් නියම ආර්ථිකය විදහා දක්වන රටක් වශයෙන් එස්තෝනියාව ජාත්‍යන්තර පිලිගැනීමට ලක්ව ඇත. තොරතුරු තාක්ෂණයේ වාසි අතරතුර අන්තර් ජාල සැහැසිකම් හා වංචා වලකන සූක්ෂම පියවර ද අනුගමනය කරයි. සයිබර් ආරක්ෂාව වෙනුවෙන් ඉහළම තාක්ෂණය හා අවසර පද උපයෝගී කරගැනේ. ඉ – ශ‍්‍රී ලංකා යනුවෙන් සැලැස්මක් සකස් කර තිබුණ අතර එය වේගයෙන් සමාජගත කරන හැකියාවක් අපට නොතිබුණ බව සඳහන් කළ යුතුය.