2017/12/27 – ලංකාදීප
ජනතා කැමැත්තෙන් මහජන නියෝජිතයන් තෝරා පත් කරගැනේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය අනුව සිදුවන්නේ එයයි. ඡන්දය දී පත් කරන ජනතාව කෙරෙහි බැඳීමක් නියෝජිතයන් තුළ තිබේ. පාක්ෂිකත්වය ද යහමින් ඇත. දේශපාලන පක්ෂයක් නියෝජනය කර බලයට පත්වන මහජන නියෝජිතයන් ජනතාවගේ හඩට වඩා පක්ෂ නායකත්වයට අවනත වෙයි. ජනතාව හා පක්ෂය යන පැති දෙක අතර දෝලනයක් සිදුවන බව නිරීක්ෂණය කළ හැකිය. තීරණාත්මක අවස්ථාවක ජන මතය පැත්තකට කර පක්ෂයේ තීරණයට එකග වෙන්නට සිදුවෙයි. ජන නායකයන්ගේ හෘද සාක්ෂියට සිදුවන්නේ කුමක්ද? මහජන නියෝජිතයන් කි‍්‍රයා කරන්නේ හෘද සාක්ෂියට අනුව දැයි ලෝකය පුරා විවාදයක් තිබේ.

නොබෝදා බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය පක්ෂයේ නියෝජිතයන් හෘද සාක්ෂියට අනුව තීරණ ගැනීමෙන් අපහසුතාවයට පත් වූවාය. යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ නීති සම්මත කරගැනීමේ අවස්ථාවක දී ඇයගේ පක්ෂයේ නියෝජිතයන් පක්ෂව ඡන්දය දුන්නේ නැත. අගමැතිනිය ගේ පක්ෂ නියෝජිතයන් විසින් යෝජනාව පරාජය කළ අතර යුරෝපා සංගමයේ සැසිවාරයකට කලින් සිදුවූ අනපේක්ෂිත සිද්ධියකි. යුරෝපා සංවිධානයෙන් ඉවත්විය යුතු ද යන කාරණය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ පැවැති ජනමත විචාරණයේ දී බහුතරයක් ඉවත් විය යුතුය යන අදහසට පක්ෂව ඡුන්දය දුන් අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් හිටපු අගමැතිවරයා ඉල්ලා අස්විය. අගමැතිනි තෙරේසා මේ ධුරයට පත් වන්නේ ඉන් අනතුරුවය.

නායකයා ගේ අභිමතය පරිදි අනුගාමිකයෝ තීරණ ගැනීම පක්ෂ දේශපාලනයේ දී සාමාන්‍යයෙන් සිදුවෙයි. දශක කිහිපයකට පක්ෂ නායකයාගේ මතය බලවත් සේ සැලකීය. තම අදහස අනුව ක‍්‍රියා කරන්නට නැඹුරු වෙන ප‍්‍රවනතාවයක් පක්ෂයක පසු පෙල මන්තී‍්‍රවරුන් ගෙන් නිරීක්ෂණය වෙන්නේ මෑත කාලයේදීය. බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වූ සිද්ධිය එහි එක්තරා සන්ධිස්ථානයක් සේ සැලකිය හැකිය.

දේශපාලන පක්ෂයක මැති ඇමැතිවරුන්ට හෘද සාක්ෂිය අනුව තීරණයක් ගැනීමට නොහැකිද? ඇත්ත කුමක් වුවත් පක්ෂය දෙන නියෝගයකට අවනත විය යුතු ද? පක්ෂ නායකයාගේ තීරණයෙන් බැහැර තිරණයකට යා නොහැකිද? මෙකී ප‍්‍රවනතා අද විශාල සාකච්ඡුාවකට යොමු වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ ද දේශපාලන පක්ෂ තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රශ්න කළ යුතුය. චීනය වැනි රටවල එක පක්ෂයකි. නායකයා බලවත්ය. නායකයා ගොඩනැගෙන අනන්‍ය ක‍්‍රමයක් තිබේ. චීන ප‍්‍රජාතන්ත්‍රවාදය එරටට අනුකූලය. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගෙන්නේ බි‍්‍රතාන්‍ය ආභාෂයෙනි. එම රාමුවට වඩා වෙනස් ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට ජනතාව කැමැති විය යුතුය. මෙරට පක්ෂයක් තුළ ඇති ප‍්‍රතිපත්ති කෙසේ වෙතත් විශේෂයෙන් නායකයාගේ තීරණයට එරෙහි විය නොහැකිය. පක්ෂ තීරණයකට විරුද්ධ වුවහොත් විශාල අවදානමකට මුහුණ දෙන්නට සිදුවෙයි. පක්ෂයේ යෝජනාවකට විරුද්ධව ඡන්දය පාවිච්චි කළහොත් එම නියෝජිතයා එක පැත්තකින් පක්ෂයේ අපවාදයට ලක්වෙයි. අනෙක් පැත්තෙන් එය හෘද සාක්ෂියට අනුව ඡන්දය පාවිච්චි කිරීමක් වශයෙන් ජනතාව හිතන්නේ නැත. පක්ෂ මරු කිරීම, ධනය හුවමාරුවීම, වැරදි සම්බන්ධ ෆයිල් පැත්තකට කිරීම යනා දී වශයෙන් එකිනෙකට වෙනස් මතිමතාන්තර ඉදිරියට පැමිණීම වැලැක්විය නොහැකිය. ජනතා නියෝජිතයන් හැසිරෙන ආකාරය ගැන ජනතාවට සැකයක් හා අවිශ්වාසයක් තිබේ.

ජනතාව විරුද්ධව ඡන්දය පාවිච්චි කර තිබිය දී පවා යුරෝපා සංවිධානයෙන් ඉවත්වීමේ නීති ක‍්‍රියාවලියට පක්ෂ නොවීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිතයන්  තීරණය කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තේරුම් ගැනීමට අවස්ථාවකි. බරපතල යෝජනාවක දී පවා තම පක්ෂයේ සාමාජික සගයන්ට විරුද්ධවීමට අයිතිය ලබා දීම දේශපාලන නායකත්වය සතු උසස් ප‍්‍රවණතාවයක් සේ හදුනාගත යුතුය. එය සමස්ථ ප‍්‍රජාවම අපේක්ෂා කරන මහජන නියෝජිතයන්ගේ හෘද සාක්ෂිය සම්බන්ධ සංකේතයක් වශයෙන් සලකා බැලීම සුදුසුය.