milinda-prashna

2017/12/20 – ලංකාදීප

අහස අල්ලන තරම් උස ගොඩනැගිලි ඉදිකිරීම තරගයක් සේ පැවැති කාලයක් තිබිණි. ලෝකය පුරා තැන් තැන් වල අති විශාල මහල් සංකීර්ණ ගොඩනගන ලද අතර උසම ගොඩනැගිල්ල ඉදිකර ඉතාම කෙටි කාලයක් තුළ එහි වාර්තාව තවත් රටක ඉදි කරන අලූත් ගොඩනැගිල්ලකින් බිඳ හෙළන තරමට එය වේගවත් වූ බව නිරීක්ෂණය කළ හැකිය. මහල් ගොඩනැගිලි තැනෙන ප‍්‍රමාණය අනුව මිහිතලය පුරා පැවැති සොබාසොදුරු බව අතුරුදහන් වන බව පැහැදිලිව නිරීක්ෂණය විය.

අලූත් දේ ගැන හිතන ගූගල් සමාගම මහල් ගොඩනැගිලි ඉදිරිකිරීම වෙනුවට පොලවේ හැඩයට අවනත වන්නට තීරණය කර තිබේ. ලන්ඩන් හි නව මූලස්ථානය පොලවට සමාන්තරව ඉදි කෙරේ. ඉදිකිරීමෙන් පසු එය එපමණ උස එකක් වෙන්නේ නැත. පොලවේ හැඩය අනුව දිගට පිහිටන එකකි. නමුත් එහි දිග අනුව කෙලින් කර සලකා බැලූවහොත් ලන්ඩන් නගරයේ උසම ගොඩනැගිල්ල විය හැකිය. කාර්යාල හා නිවාස සංකීර්ණයක් වන ෂාර්ඞ් ගොඩනැගිල්ල 2010 වසරේ සිට ලන්ඩන් නගරයේ උසම තැන යන ස්ථානය දිනාගෙන සිටියේය. අවශ්‍ය නම් එය පරාජය කර ඉහළට ගොඩනගන්නට ගූගල් සමාගම තන්නනට යෝජිත කාර්යාලයට බාධාවක් නොවීය. පරිසර අන්‍යතාවය ආරක්ෂා කරන අදහස ඇති ගූගල් සමාගම පොලවට සමාන්තරව අඩි 1,082 ක් දිග හැඩයට තම අලූත් කාර්යාලය තනන්නට තීරණය කර තිබේ. එය මහල් එකොලහකට සීමා වූ වර්ග අඩි මිලියනයක පැතිරුණ අවකාශයක් සහිත එකකි.

මහ පොලවේ පිහිටීම වෙනස් නොවන අන්දමට පොලවට සමාන්තරව ගොඩනැගිලි තැනීමේ ආකෘතිය ලන්ඩන් නගරයෙන් ආරම්භ වී ඇති අතර ගූගල් එහි පළමු වැනි එකය. පොලවට සමාන්තර ගොඩනැගිලි ඉදිකිරීම ඉදිරි විසි වසර තුළ ලෝකය පුරා පැතිරෙන නවතම සංකල්පයක් වනු ඇති බව ප‍්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෝ අනාවැකි පළ කරමින් සිටිති. විශේෂයෙන් ඇමරිකාවේ අලූතින් ගොඩනැගෙන නගර වල මෙම සංකල්පය උපයෝගී වනු ඇතැයි සැලකේ.

මහල් වශයෙන්, පොලවෙන් ඉහළට නැගෙන ගොඩනැගිලි තන්නනට පෙළඹෙන්නට බලපාන ලද ප‍්‍රබල හේතුවක් තිබුණි. ඉඩම සීමා සහිතවීමය. ඉඩකඩ සලකා තට්ටු ගණනින් ඉහළට තැනෙන විට ඒවාට පහසුව සපයන අලූත් තාක්ෂණය ද සොයා ගන්නට සමත්විය. කේබල් රහිත විදුලිය සෝපාන ඒ අතර ප‍්‍රධාන වූ අතර එම සෝපාන පද්ධතිය ඉහළ නගින අතර අවශ්‍යනම්, ගොඩනැගිල්ලේ සමාන්තරව ඇවිදින විදුලි මංතීරු වශයෙන්  භාවිතා කළ හැකි තරමට තාක්ෂණයෙන් දියුණු කර තිබේ. උස ගොඩනැගිලි වලින් සිදුවන පරිසර හානි අවම කරනු සඳහා හරිත සංකල්ප අනුගමනය කරන්නට ද ජගත් ප‍්‍රජාව හුරු වූ බව සඳහන් කළ යුතුය.

උස වෙනුවට මහ පොලවේ හැඩය වෙනස් නොකරන සමාන්තර ඉදිකිරීම් වලට නැඹුරු වෙන්නට තීරණය කරන්නේ ඇයි?  කාලගුණ විපර්යාස අවදානමක් කෙරෙහි ලෝකය පුරා විශාල අවධානයක් ඇති හෙයින්ය. පොලව කැන, ගොඩකරන අතර ස්වභාවික තත්ත්වය වෙනස් කිරීම තවදුරටත් පරිසරයට හානියක් බව තේරුම් ගෙන තිබේ. උස ගොඩනැගිලි වලට වඩා මහ පොලවේ හැඩයට ඇති උස අඩු ඉදිකිරීම් අවදානම අඩු බව හිතන්නට පෙළැඹී තිබේ. පාරිසරික වෙනස්කම් වලට බලපාන අන්දමට ඉදිකිරීම් වල ලක්ෂණ වෙනස් නොකළහොත් ගැටළු ඇති විය හැකි ප‍්‍රත්‍යක්ෂ වී තිබේ. ගූගල් සමාගම සම්ප‍්‍රදාය වෛනස් කිරීම ආරම්භ කර ඇත.

ශ‍්‍රී ලංකාව ද මහල් ගොඩනැගිලි තැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව මෑත කාලය තුළ පෙනී යන කාරණයකි. එහි විද්‍යාත්මක ස්වභාවය හදාරන්නට අවශ්‍යය. පරිසර අවශ්‍යතා පදනම් කරගෙන මහ පොලොව  වෙනස් නොකර ගොඩනැගිලි හදන්නේ කෙසේ දැයි හිතා බැලීම සුදුසුය. ගෘහ නිර්මාණගීල්පීන් අලූත් ප‍්‍රවනතා කෙරෙහි අවධානය යොමු කළ යුතුය.