milinda-prashna

2017/12/13 – ලංකාදීප

විදේශ සමාගමක් ආයෝජනය සඳහා කැමැති කරගැනීම පහසු නැත. ලෝකයේ නොයෙක් රටවල් සහ ඒවායේ ප‍්‍රධාන නගර ප‍්‍රකට සමාගම් තමන් කෙරෙහි කැඳවාගනු සඳහා වෙහෙස වෙමින් සිටිති. ප‍්‍රකට අන්තර් ජාල අළෙවි සමාගමක් වන ඇමේසන් එම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීම සඳහා අලූත් ප‍්‍රයෝගක නිරත විය. නිව්යෝක් නරගයෙන් එපිට සිය දෙවැනි ප‍්‍රධාන කාර්යාලය පිහිටුවන්නට අදහස් කර ඇති බව ප‍්‍රකාශයට පත් කළ ඇමේසන් සමාගම හොඳම ප‍්‍රතිචාර ලැබෙන තැන ගැන අවධානයෙන් සිටී.

ඇමරිකානු ඩොලර් බිලියන පහක ආයෝජනයක් හා රැකියා ලක්ෂ පහක් සහතික කළ ඇමේසන් සමාගම දෙවැනි ප‍්‍රධාන කාර්යාලය සඳහා අවම වශයෙන් මිලියනයක ජනගහනයක් ජීවත්වන, හොඳ අධ්‍යාපනයක් පවතින, ප‍්‍රවාහන බාධා රහිත තැනක් සොයා බලන බව කියා සිටියේය. ගුවන් තොටුපොලක් අවශ්‍ය බව ද කොන්දේසි අතර විය. එම අදහස නිල වෙබ් අඩවියේ පළකර වැඩි කල් යන්නට මත්තෙන් ප‍්‍රධාන නගර වල නගරාධිපතිවරු හා රටවල් වල පාලකයෝ ඇමේසන් සමාගමට සිත් ගන්නා යෝජනා ඉදිරිපත් කළහ.

ඇමේසන් දෙවැනි ප‍්‍රධාන කාර්යාලය කැඳවනු සඳහා පාලකයෝ කැමැති වෙන්නේ ඇයි? 1994 දී ජෙෆ්රි බිසෝස් ආරම්භ කරන ලද අන්තර් ජාල වෙළඳාම සඳහා වූ මෙම ව්‍යාපාරය අද වන විට ඇමරිකානු ඩොලර් බිලියන හාරසිය පනහකට ආසන්න වන අතර තුන් ලක්ෂ පනස් දහසක පමණ පිරිසක් එහි රැකියා කරන බව වාර්තා වෙයි. ෆෝබ්ස් සඟරාවේ වර්ගීකරණය අනුව එය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ ඉතා බලවත් ව්‍යාපාරයකි. වොෂින්ටන් නගරයේ සියැටල් හි ප‍්‍රධාන කාර්යාලය පිහිටා ඇත.

දෙවැනි ප‍්‍රධාන කාර්යාලය සඳහා තැනක් සොයන බව කියන විට ස්ථාන 238 කින් එයට ප‍්‍රතිචාර ලැබුණ අතර එම සියළු රටවල් හා නගර ඉතා තරගකාරී කොන්දේසි, වරප‍්‍රසාද හා බදු සහන දෙන්නට සූදානම් බව කියා සිටියේය. ශක්තිමත් ආයෝජකයෙකු තමන්ගේ රටට හෝ පලාතට ගෙන්වා ගැනීමෙන් ලැබෙන ආර්ථික වාසි මෙම සියළුම දෙනා හොඳින් සලකා බලන්නට ඇති බවට සැකයක් නැත. ඇමේසන් සමාගම භාණ්ඩ අළෙවිය සම්බන්ධයෙන් අලූත් ව්‍යාපාරයක් ගොඩ නැගූ අතර ව්‍යාපාරය පුලූල් කිරීමේ දී ද අලූත් දර්ශනයක් ඉදිරිපත් කර තිබේ. තමන්ට අවශ්‍ය තැනක අලූතින් ආයෝජනයක් කරනු වෙනුවට ආයෝජන ගෙන්වා ගැනීමට කැමැති අය වෙන්දේසියකට කැඳවා ඇත.

එයට අනුව ඇමරිකාවේ නිව් ජර්සි ප‍්‍රාන්තය ඇමරිකානු ඩොලර් බිලියන හතක බදු සහන ප‍්‍රකාශයට පත් කළ හැකි බව දක්වා තිබේ. කැලිෆෝනියාව ඇමරිකානු ඩොලර් මිලියන තුන් සියය දක්වා බදු සහන වසර දහයකට දෙන්නට කැමැති වී තිබේ. ඉඩම් වෙන්කර දෙන්නට හා වෙනම ආයෝජන කලාප ඇති කර දෙන්නට කැමැති රටවල් ද සිටී. මෙකී යෝජනා ලැයිස්තු ගත කර ඇති ඇමේසන් සමාගම 2018 වසරේ දී දෙවැනි ප‍්‍රධාන කාර්යාලය සඳහා තෝරා ගන්නා තැන නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බව දක්වා තිබේ.

ආයෝජන ගෙන්වා ගැනීම ගැන ශ‍්‍රී ලංකාවට ද සෑහෙන අත්දැකීම් ප‍්‍රමාණයක් තිබේ. ඉකුත් දශක හතර තුළ සෑහෙන ප‍්‍රවර්ධන කටයුතු කරන ලද නමුත් ජාත්‍යන්තර සමාගම් වල අවධානය දිනා ගැනීමට විශාල සමත්කමක් දක්වා නැත. පාලකයන් පමණක් නොව ජනතාව ද ආයෝජන පහසුවෙන් ලැබෙනු ඇති බව සිතයි. ආයෝජන කැදවා ගැනීම වෙනුවෙන් දෙන බදු සහන හෝ  වරප‍්‍රසාද ගැන රට තුළ විශාල විවාදයක් තිබේ. සහන පමණක් ප‍්‍රමාණවත් නැති අතර ව්‍යාපාර පහසු කරන ස්වභාවය වැදගත් බව පර්යේෂණ වාර්තා පෙන්වයි.

ජාත්‍යන්තර ආයෝජකයන්ට කෙසේ වෙතත් කුඩා ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් ආරම්භ කරන මෙරට ව්‍යවසායකයෙකුට මුහුණ දෙන්නට සිදුවන අත්දැකීම යහපත් එකක් නොවේ. නීති රීති, ජාතික හා පලාත් පාලන ආයතන වල අනුමැතිය, දේශපාලන බලපෑම් හා එයටත් වඩා දරුණු නිලධාරීවාදය ව්‍යවසායකත්වය බලවත් දුෂ්කර එකක් බවට පත් කරයි. ආයෝජන තීරණ ගැනීමට කලින් එම රටේ දේශීය ව්‍යවසායකයන් ගේ ව්‍යාපාර තෘප්තිමත් භාවය ගැන විදේශීය ආයෝජකයන් සොයා බව ද සඳහන් කළ යුතුය.