milinda-prashna

2017/11/29 – ලංකාදීප

සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ දුෂණයට එරෙහිව තදින් ක‍්‍රියා කළ නායකයෙකු සේ ඉතිහාසයට එක්ව තිබේ. චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් එරට අති විශාල දුෂිත ජාවාරම් වලට එරෙහිව සටන් ආරම්භ කරන ලද බව මෑත කාලය තුළ වාර්තා විය. සවුදි අරාබිය නොබෝදා ඒ අතරට අලූතින් එකතු වී තිබේ. ලෝකයේ නොයෙක් රටවල් ස්වකීය රාජ්‍ය සෑම එකක්ම පාහේ තම තමන්ගේ රටවල් වල බලපවත්වන දූෂණ හා වංචා මැඩ පවත්වන්නට අනුගමනය කරන ලද ක‍්‍රියාමාර්ග ඉතිහාසයට එකතු වී ඇත.

ලී ක්වාන් යූ සිංගප්පූරුව භාරගන්නා විට පහල සිට ඉහලටම අල්ලස් හෝ දූෂණ දරුණුවටම බලපැවැත්වුණ බව සඳහන්ය. රියැදුරුට අත යටින් කීයක් හරි නොදුන්නොත් රෝගියා මිය ගියත් ගිලන් රථය පණ ගන්වන්නේ නැති තත්ත්වයක් තිබුණි. හෙතෙම දූෂණ විමර්ෂණ කාර්යාංශයක් පිහිටුවන ලද අතර සැක කටයුතු පුද්ගලයන් ගැන විමර්ෂණය කරන්නට, බැංකු ගිණුම් පරීක්ෂා කරන්නට එයට බලය පැවරීය. සිය හිත මිතුරන්ගේ සිද්ධි වල දී පවා දඞුවම් පැනවීය. කැබිනට් සගයෙකුට විරුද්ධව පැමිණිල්ලක් විභාග කරන්නට දුෂණ විමර්ෂණ කාර්යාංශය පියවර ගත් විට පරික්ෂණ කෙරෙහි තැති ගත් හෙතෙම සිය දිවි නසා ගත්තේය.

චීනය එරට කොමියුනිස්ට් පක්ෂයේ දහ අට වැනි සම්මේලනයේ සිට දුෂණ විරෝධී ව්‍යාපාරයක් අරඹන ලදී. ජනාධිපති ධුරයට පත් ෂී ජින්ග් පින්ග් විවෘත ආර්ථික ක‍්‍රමයට යොමු වන අවස්ථාවේ දී පක්ෂයේ සහ පාලන අංශයේ වගකීම් උසුලන පිරිස දුෂණවල නිරත බවට නැගෙන චෝදනා අවධානයට ගත්තේය. අභ්‍යන්තර තත්ත්වය සියුම්ව ගවේශණය කරන ලද හෙතෙම ඉකුත් කාලය තුළ චීනයේ ප‍්‍රධාන පෙලේ පුද්ගලයන් හැත්තෑ දහසකගෙන් පමණ  සැක කටයුතු දුෂිත තත්ත්ව සම්බන්ධයෙන් ප‍්‍රශ්න කර ඇති බව ෂින්හුවා ප‍්‍රවෘත්ති ඒජන්සිය නොබෝදා නිවේදනය කළේය. එරට ජාතික බියුරෝව කරන ලද සමීක්ෂණයක් අනුව මෙකී දුෂණ විරෝධි වැඩ පිලිවෙලෙහි ක‍්‍රියාත්මක ස්වභාවය ගැන චීන වැසියන්ගෙන් සියයට 92.9 ක් කැමැති බව දැක්වෙයි.

චීනය එසේ ක‍්‍රියාත්මක වන අතර සවුදි අරාබියේ ස්වභාවය ද එයට සමානය. සල්මාන් බින් අබ්දුල් අසීස් රජු ගේ මග පෙන්වීම අනුව ආරම්භ කර ඇති සවුදි අරාබියේ දුෂණ විරෝධී කමිටුව ක‍්‍රියාත්මක වන අන්දම ද සවුදි වැසියන් අමන්දානන්දයට පත්ව තිබේ. රජ පවුලට සම්බන්ධ කුමාරවරු එකොලොස් දෙනෙකු මුදල් වංචා හා දුෂණ චෝදනා පදනම් කරගෙන අත් අඩංගුවට ගෙන තිබේ. එයට අමතරව අමාත්‍යවරු හතරදෙනෙකු සහ හිටපු අමාත්‍යවරු දස දෙනෙකු සහ ආයෝජකයන් සෑහෙන පිරිසක් ද කමිටුවේ වැටලීම් වලට ගොදුරු වී ඇති බව වාර්තා විය.

තද නීති හෙයින් සිංගප්පූරුව හොඳ විනය ගරුක රටක් බවට පත්විය. චීනයේ හෝ සවුදි අරාබියේ දුෂණ වලක්වනු සඳහා එම රටවල නායකයන් අනුගමනය කරන පියවර අනුව අනාගතයේ පැවැත්ම තහවුරු කරනු ඇත. දුෂණ විරෝධී හඞ සහ එයින් ඇති කරන යුක්ති සහගත බව එකක් නොවේ යැයි මධ්‍යස්ථ අදහස් ඇති ජනතාව තුළ මතයක් ද තිබේ. යුක්තිය පෙන්වා දේශපාලන පලිගැනීම් කරගෙන යන බව නොයෙක් රටවල පෙනී යන කරුණකි.

පාලකයන් තම බලය තහවුරු කරගැනීම සඳහා දුෂණ විරෝධය මෙහෙයැවන බව අවධානයට ගැනෙමින් තිබේ. විශේෂයෙන් සවුදි අරාබියේ රජු සිය පුත‍්‍රයා ලවා කරගෙන යන වැඩ පිලිවෙල සල්මාන් කුමරුගේ බලය තවදුරටත් තහවුරු කරනු සඳහා අනුගමනය කරන්නක් බව මධ්‍යස්ථ විචාරකයන්ගේ මතයකි. තෝරාගත් ප‍්‍රතිවාදීන් මැඩ තමන්ගේ බලය තහවරු කරගැනීම සඳහා කරන මෙහෙයුම දුෂණ විරෝධයක් නොවේ. එය තමන්ට අභියේගයක් වන අය පාලනය කරනු සඳහා  වූ පලිගැනීමකි. ජනතාව එය යුක්තිය වශයෙන් සලකන්නේ නැත.දුෂණ මැඩ සාධාරණත්වය හා සමාජ හානිය වලකන බව ප‍්‍රකාශ වන විට ඒවා සර්ව සාධාරණ විය යුතුය. තමන්ගේකම පැත්තකින් තැබිය යුතු අතර නීතිය මෙහෙයැවෙන්නේ යුක්තිය උදෙසා බව පැහැදිලිව විද්‍යමාන විය යුතුය.