milinda-prashna

2017 /11/ 08 – ලංකාදීප

ණය ගෙවා ගත නොහැකි වූ කුඩා  ව්‍යවසායකයන් මුහුණ පා සිටින ඉරණම ගැන පුළුල් අවධානයක් යොමු කළ යුතුය. නොබෝදා මාධ්‍ය වාර්තා කරන ලද සිද්ධි මගින් ණය ගෙවා ගත නොහැකිව අසරණ වූ අය ගැන අණාවරණය කෙරිණ. උතුරුකරයේ දරු පවුලක් ජීවිත වලින් වන්දි ගෙවූ ඛේදජනක සිද්ධිය ඒ අතරින් විශේෂ අවධානයට යොමු විය යුතුය. හුදෙක් ණය ගැතියෙකු හෝ ණය නිකුත් කරන ලද ආයතනයක් අතර සිද්ධියකට එහා බරපතල යමක් මෙහි සටහන්ව ඇත. එය මෙරට ආර්ථික, සමාජ සහ දේශපාලන ව්‍යුහය මැනවින් තේරුම්ගත යුතු තවත් පණිවුඩයකි.

ක්ෂුද්‍ර ණය යෝජනා ක‍්‍රම සංවර්ධන කාර්යය ඉදිරියේ ඉතාම වැදගත්ය. ණය ලබාගත හැකි සහ ණය වෙනුවෙන් ඇප තැබිය හැකි ඉහළ සමාජයක් සිටී. බැංකු සමග ගනුදෙනු කිරීමට එම අයට බාධාවක් නැත. නමුත් සාමාන්‍ය සුළු ව්‍යවසායකයන් සඳහා බැංකු හා මූල්‍ය ආයතන වල දී ගැටළු මතුවෙයි. සඳහා ක්ෂුද්‍ර ණය යෝජනා ක‍්‍රම යනුවෙන් වෙනම අවධානයක් යොමු කරන්නේ එහෙයින්ය. බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් වෙත පැමිණ කෙසේ හෝ සුළු ණයක් ගෙන එයින් අලූත් ගමනක් ආරම්භ කරන්නට තැත් කරන ව්‍යවසායකයන් අතරින් කිසිවෙකු අනපේක්ෂිත තත්ත්වයන්ට ගොදුරු විය හැකි අතර අවසානයේ දී එම පිරිස බලවත් දුෂ්කරතාවයකට පත් වෙති. බැංකු සහ මූල්‍ය ආයතන මෙම පිරිස හඹා යන අතර ණය ආපසු අය කරගැනීම සඳහා නඩු පැවරීම ඇතුළු විවිධ ක‍්‍රියාමාර්ග වලට එළැඹෙන බව පෙනේ. කර්මාන්තය හෝ ව්‍යාපාරය කරගෙන යා නොහැකිව ගැටළුවලට මුහුණ දෙන පිරිස සුළු කණ්ඩායමක් නමුත් එම කණ්ඩායම අත්හැර දැමීම සුදුසු නැත. මෑත සිද්ධි ඇතුළුව මුලින් සඳහන් කරන ඛේදවාචකය මෙකී අනවධානයේ ප‍්‍රතිඵලයකි.

ණය නිකුත් කරන විට අරමුදල් සම්පූර්ණයෙන්ම අපේක්ෂිත අරමුණ වෙනුවෙන් ආයෝජනය කරනවාදැයි සොයා බැලීම අවශ්‍යය. ණය නිකුත් කරන්නට කලින් අලූත් ව්‍යවසායකයන්ට පුහුණුව ලබා දිය යුතු අතර පවතින ව්‍යුහය තුළ ණය ආයෝජනය කිරීම කෙරෙහි අවශ්‍ය දැනුම ඉතාම වැදගත්ය. පසු විපරම අනෙක් කාරණයයි. ණය නිකුත් කිරීමෙන් පසු ඉලක්ක ශාක්ෂාත් කරගත් හෙයින් ණයගත් ක්ෂූද්‍ර ව්‍යවසායකයා කෙරෙහි ඇති අවධානය අත් හැරීම වරදකි.

මෑත කාලය තුළ විශේෂයෙන් උතුර නැගෙනහිර පලාත්වල අලූත් ව්‍යවසායක පසුබිමක් නිර්මාණය විය. සාමකාමී වාතාවරණය තුළ අලූත් අවස්ථා සොයා යන පිරිස එම ප‍්‍රදේශවලට පැමිණි බැංකු හා මූල්‍යායතන සමග සම්බන්ධ වූ බව කල්පනා කිරීම අපහසු නැත. ඉක්මනින් ණය නිකුත් කර තමන්ගේ ව්‍යාපාර පුලූල් කරගැනීම අරමුණු කරගත් ආයතන හා බැංකුවකින් හෝ මූල්‍යායතනයකින් ණයක් ගෙන තමන්ගේ ජීවිත සාක්ෂාත් කරගත හැකියැයි උපකල්පනය කරන ගනුදෙනු කරුවන් අතර සහ සම්බන්ධතාව තර කරන මාර්ග ගැන වගකිව යුතු අංශ වල අවධානය යොමු විය යුතුව තිබිණ.

ආයතනික ණය ගනුදෙනු සඳහා සුළු පරිමාන ව්‍යවායකයන් හුරුකර ගත යුතුය.  සම්ප‍්‍රදායික ණය දෙන පිරිස සමග බැඳී ගමේ නගරයේ දෛනික ණය ගනුදෙනුවල පැටලී අධික පොලියක් ගෙවමින් සිටි මෙම කොටස එයින් වෙන් කරගැනීම වැදගත්ය. ක්ෂුද්‍ර ණය යෝජනා ක‍්‍රම එහි ලා මනා පිටිවහලකි. නමුත් ණයකරු හදුනාගැනීම හා ඔවුන්ගේ ආකල්ප වෙනස් කර ව්‍යවසාය කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කිරීම අවශ්‍යය. පවතින බැංකු හා මූල්‍ය පද්ධතිය තුළ එයට පහසුකම් නැත. ව්‍යවසායකත්වය වර්ධනය වෙනම විෂයයක් වන අතර එහි නිරත වන විශේෂඥ අදහස් ඇති නිලධාරීහු අඩු ලූහුඩුකම් සොයා ණය ලබාගත් ක්ෂුද්‍ර ව්‍යවසායකයා ගැන සෙවිල්ලකින් සිටිය යුතුය. එය අතපසුවන විට ණය නොගෙවා පැහැර හරින අතර ණය ගෙවාගත නොහැකිවන ඇතැම් ගනුදෙනුකරුවන්ගේ ජීවිත ඛේදවාචකයකින් අවසන් වන බව සඳහන් කරන්නට අවශ්‍යය.

නිෂ්පාදනය වැඩි කරන, අලූත් ව්‍යවසාය ඇති කරන ක්ෂුද්‍ර ව්‍යාපාර නැංවිම පමණක් නොව පසු විපරම ද අවධානය යොමු කළ යුතු පැත්තකි. ඇතැම් ව්‍යවසායකයන් මුහුණ දී ඇති ණය ගෙවා ගත නොහැකි ප‍්‍රශ්න සාධාරණව සමාලෝචනය කිරීම සුදුසුය.