milinda-prashna

2017/10/25 – ලංකාදීප

කිකිළි බිත්තර අනුභවය ගැන  අලූත් අදහසක් නොබෝදා ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේය. එයට අනුව බාල මහළු සෑම පුද්ගලයෙකුටම, බිත්තර ඉතාම පෝෂ්‍යදායී ආහාරයකි. යහමින් ප්‍රෝටීන ඇති සහ ඇමැයිනෝ අම්ල නමයක් සහිත බව වාර්තා කර තිබේ. විටමින් වර්ග සෑහෙන ප‍්‍රමාණයකින් ද පොහොසත් බව අනාවරණය කරන අතර ශරීරයට අවශ්‍ය සියළු පෝෂණය ලබාගත හැකි මිල අඩු ආහාරයක් සේ බිත්තර වර්ගීකරණය කර ඇත.

නිරෝගී පුද්ගලයෙකු බිත්තර ප‍්‍රමාණයට වඩා ආහාරයට ගැනීම අහිතකර බවට විසිවන සියවසේ අග භාගයේ පැවැති වෛද්‍ය මතයකි. කොලෙස්ටරෝල් අඩංගු හෙයින් කහ මදය අත හැර භාවිතා කරන ප‍්‍රවණතාවයක් ද පැවැතිණ. සතියකට බිත්තර දෙකක් හෝ තුනකට වඩා නුසුදුසුය යන වෛද්‍ය මතය සමාජය බියට පත් කරන ලද අතර එය අදටත් පොදු ජනතාවගෙන් බැහැර වී නැත. බටහිර කලාපයෙන් අලූත් සොයා ගැනීම් සේ කාලයකට කලින් කරන ලද බිත්තර අනුභවය ගැන ඇති කරන ලද අවදානම බටහිර කලාපයේ අනාවරණ වලින් ම බිඳ දමමින් තිබේ.

තවත් වැදගත් කාරණයක් අවධානයට ගත යුතුය. සත්ව පාලනයෙහි නිරත වුවන් විසින් කිකිළියන් ඇති කිරීමේ දී එය ඉතාම වාසි දායක යැයි ගණන් බලා කූඩු වල සිදු කරන ලද නමුත් එකී ක‍්‍රමය ද නුසුදුසු බවට තහවුරු වෙමින් තිබේ. කුඩා ඉඩ ප‍්‍රමාණයක ගාල් කර අවශ්‍ය ආහාර හා විටමින් වර්ග දී කිකිළියන් ඇති කිරීම වෙනුවට නිදහසේ අහුලා කමින් හැදෙන කිකිළියන් බිත්තර ආහාර සඳහා සුදුසු බව කියන්නේ ද බටහිර රටවල මතවාද අනුව බව සඳහන් කළ යුතුය. සත්ව අවිහිංසාව වෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධාන කූඩු කිරීම හා සතුන්ගේ හොට කපා දැමීම වැනි ක‍්‍රම අනුගමනය කිරීම අයහපත් බව පෙන්වා දී ඇති අතර එහි ප‍්‍රතිඵල අනුව නව ප‍්‍රවණතා ඉදිරියට එන බව පෙනේ.

ලෝකයේ ප‍්‍රකට සත්ව ගොවිපොල ගණනාවක් වසර 2025 වන විට වෙළඳ පොලට ඉදිරිපත් කරන බිත්තර සම්පූර්ණයෙන්ම නිදහසේ ඇති කරන කිකිළියන් ගෙන් පමණක් නිෂ්පාදනය කරන්නට තීරණය කර ඇත. ප‍්‍රකට අලෙවි සැල් ජාලා සහතික කරන ලද හිංසනයට ලක් නොකළ කිකිළියන්ගෙන් පමණක් කරන නිෂ්පාදන අලෙවි කරන්නට තීරණය කිරීම එයට බලපා ඇති ප‍්‍රධාන කාරණයයි. එම වසරේ සිට කූඩු කරන ලද කිකිළියන්ගේ බිත්තර විකුණන්නේ නැති බව ලෝකයේ ප‍්‍රසිද්ධ සුපිරි වෙළඳ සැල් දැනටමත් නිවේදනය කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ ළමා පරපුර අතර පෝෂණ මට්ටම එපමණ හොඳ නැති බව වාර්තා පළ වී තිබේ. උදෑසන ආහාරය මග හරින සහ නිසි පෝෂණයකින් තොර දේ වලින් කුස පුරවා ගන්නා පාසල් දරුවන් ගේ ප‍්‍රතිශතය ඉහළ බව අනාවරණය වෙයි. මෙම තොරතුරු වලට ඔවුන්ගේ පවුලේ ආදායම  හෝ ඇති නැති පරතරය එපමණ බලපා නැති බව ද සැලකිය යුතු කරුණකි. ළමයින් අතර පවතින මන්ද පෝෂණය දුරු කරනු සඳහා දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රකට සූඵවේදීන් නිති පතා ස්වේච්ඡාවෙන් පෙර පාසල් දරුවන්ට බිත්තර සහිත ආහාර වේල සපයන දානපති වැඩසටහන් ආරම්භ කර ඇති බව ද මෙහි ලා සඳහන් කළ යුතුය.

මෙරට බිත්තර නිෂ්පාදනය හා අළෙවිය ගැන ද සොයා බැලීම සුදුසුය. ගොවිපොලෙන් ලබාගත් වහා කිසිම පිරිසිදු කිරීමකින් හෝ තත්ත්ව පරීක්ෂාවකින් තොරව විකිණීමට ඇති බව ප‍්‍රකට කාරණයකි. ඒවා මිල දී ගන්නා පාරිභෝගිකයන් තම නිවෙසේ දී නිසි පරීක්ෂාවකින් ආහාරයට සකස් කරනු ඇති බව උපකල්පනය කළ හැකි නමුත් වීදි වෙළඳාමේ යෙදෙන ආහාර අලෙවිකරන වෙළඳ සැල් වල බිත්තර යොදා සකස් කරන අවස්ථා නිසි පිලිවෙලක් නැත. කොපමණ ගුණ නමුත් අපිරිසිදු බිත්තර වලින් බරපතල රෝග වැළඳිය හැකිය. බිත්තර පරිභෝජනය නංවන අතර පිරිසිදු හා ප‍්‍රමිතියෙන් යුතු නිෂ්පාදන ක‍්‍රමයක් ඇති කරන්නට පියවර ගැනීම වටී.