milinda-prashna

2017/10/04 –  ලංකාදීප

බුද්ධ චරිතය ගැන දන්නා සෑම සියළුම දෙනාටම මාර පරාජය යනු කුමක්දැයි යම් අවබෝධයක් තිබේ. 1956 මැතිවරණ සමයේ දී මාර යුද්ධය නමින් කාටුන් චිත‍්‍රයක් ජනතාව හමුවට පැමිණියේය. මාර පරාජය ගැන නොදන්නා ජන කොටස් පවා මාර යුද්ධය කාටුනයෙන් කියන්නේ කුමක්දැයි මැනවින් අවබෝධ කරගත්තේය. එය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතු වූ බව රහසක් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ එවකට සිටි නායකයන් සම්බන්ධයෙන් තිබුණ නොරිස්සුම් හැඟීම මැනවින් අවුලා කෝපය ජනිත කරන්නට එක කාටුන් චිත‍්‍රයකට හැකි වූ අයුරු පසුව මාධ්‍ය භාවිතාව ගැන අධ්‍යයනය කරන්නන්ට හොඳ සාධකයක් විය.

මාර යුද්ධය කාටුන් චිත‍්‍රයෙන් පිළිබුඹු කරන ලද්දේ ජෝන් කොතලාවල අගමැතිවරයා ප‍්‍රමුඛ පිරිස අලියෙකු පිට නැග රැස් විහිදන බුදු පිලිමයක් අසලට පැමිණ ඝෝෂා කරන අන්දමය. එවකට සිටි අගමැතිවරයාගේ ක්ෂණික තීරණ, ඒවායෙන් ඇති වූ ප‍්‍රතිඵල සහ බෞද්ධ වටිනාකම් කෙරෙහි නොසැලකිල්ල මෙහි අඟවා තිබිණ. ශාසනය සම්බන්ධයෙන් එවකට පැවැති පාලනය අගෞරවයෙන් කටයුතු කළ ආකාරය උලූප්පවන ලද අතර භික්ෂූන් වහන්සේලා පවා කොතලාවල අගමැතිවරයා ශ‍්‍රී ලංකාවේ අගමැති ධුරයට නුසුදුසු සෙල්ලක්කාරයෙකු බව පෙන්වන්නට මෙම කාටුන් චිත‍්‍රය උපයෝගී කරගත්තේය.

සමාජයේ බිම් මට්ටමේ පවතින සංකල්ප, ජනතා හැඟීම් සහ බෞද්ධ පදනම කොතරම් බලවත් ද යන්න පෙන්වන එකී කාටුන් චිත‍්‍රය අදට ද එක්තරා උදාහරණයකි.

වර්තමානයේ ජන සමාජය තුළ බෙදීම් තිබේ. මත ගැටුම් බහුලය. අපහාස සහ උපහාස කරන අවස්ථා ඇති අතර ඉතා ඉක්මන් මාධ්‍ය භාවිතාව තුළ සමාජය ඔස්සේ පැතිරී යන ඒවායෙන් ඇති කරන ප‍්‍රතිඵලය සුළු කොට තැකීම නුසුදුසුය. පොදු ජන විඥාණය නොසලකා ක‍්‍රියා කරන ලද අවස්ථා ගණනාවක දී ගෙවන ලද වන්දිය බරපතලය. අප සියළු දෙනාටම එකී අවස්ථා අවසන් වූ ඛේදජනක ආකාරය ගැන හොඳ මතකයක් තිබේ. අන්තවාදය මගින් යහපත ඇති කරන්නේ නැත. අපහාසය ඉවසා දරාගත නොහැකි මොහොතක් එන අතර එය කෙළවර වන්නේ නොසිතන අන්දමේ භයානක පිපිරීමකින් බව ඉතිහාසය සාක්ෂි දරයි. පරිනත සමාජයක් වශයෙන් අඩු ලූහුඩුකම් ඉතා මැනවින් ඉවසන බව මතු පිටින් පෙනෙන නමුත් අභ්‍යන්තරයේ පවතින තත්ත්වය කුමක්දැයි ඉහළින් ඉන්නා නායකයන්ට දැනෙන්නේ නැත.

සමාජ සංහිඳියාව ගැන කතා කරන නමුත් අද සංඝ ශාසනය තැතිගන්වන කිසියම් කැළඹීමක් ඇති කර තිබේ. බොදුනු ජනතාව එයින් බෙදී ඇත. අන්තවාදී දේශපාලන මතිමතාන්තර මගින් ඒවා මුවහත් කරන අතර මෝදු වෙමින් පවතින ස්වභාවය එපමණ යහපත් නැත.

මෙයට හේතුව ජාති හෝ ආගම් පරතරය නොව පන්ති පරතරය බව පැහැදිලිය. ඉංගි‍්‍රීසියෙන් හිතන බටහිර පැවැත්ම අනුව ක‍්‍රියාකරන පැලැන්තිය සමාජයේ සාමාන්‍ය ස්ථරය ගැන නොසලකා ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රතිඵලයකි. අධිරාජ්‍යවාදීන්ගෙන් රට භාරගත් එක්තරා පෙලැන්තියක් දේශීය අනන්‍යතාවය අඩු තක්සේරුවකට ලක් කර තිබේ. ජනතාවගේ සිතුම් පැතුම් නොසලකන පැවැත්මක් ඇති කර තිබේ. මෙය එකවර නොව පසුගිය දශක හය තුළ ක‍්‍රමානුකූලව සිදුවූ බවව සඳහන් කළ යුතුය. අධිරාජ්‍යවාදීන්ගේ ආභාෂය හා දේශීයත්වය අතර සටනකි. ජාති ආගම් හා භාෂා වශයෙන් බෙදීම් ඇති කර පෙන්වන්නේ එයයි. උසස් යැයි සම්මත ඇතැම් පාසල් මගින් ඇතිකරන්නේ ද එකී භාවයන් තවදුරටත් ආරක්ෂා කරන රාමුව ආරක්ෂා කිරීමකි. මෙහි අවසානය කුමක් විය හැකිද?

ජන සමාජය තුළ අද සිදුවෙමින් පවතින මාර යුද්ධය ජන නායකයින්ගේ අවධානයට යොමු විය යුතුය. ආගම් නායකයන් හා දේශපාලන නායකයන් අලූතින් හිතන්නට අවශ්‍යය. අන්තවාදය තුළින් පැවැත්මක් නැත. අන්තවාදී සමාජ ගොදුරු වූ ඉරණම කෙබදු දැයි ජාත්‍යන්තර අත්දැකීම් පෙන්වා දෙයි. අප මුහුණ දුන් අතීත සිද්ධි නැවත නැවතත් තත්ත්වය මතු කර පෙන්වයි. සමාජ මධ්‍යස්ථභාවය හා සංයමය තේරුම් ගැනීම වැදගත්ය.