milinda-prashna

2017/ 09/ 27 – ලංකාදීප

විශ‍්‍රාම ලැබූ  බි‍්‍රතාන්‍ය පුරවැසියන්ට නැවතත් අධ්‍යාපන ක්ෂේත‍්‍රය හා සම්බන්ධ වන අවස්ථාව ලැබී තිබේ. විවිධ ක්ෂේත‍්‍රවල රැකියා වල නියුක්තව සිටි මෙම අයට විශ‍්‍රාම ලැබීමෙන් පසු  කරන්නට දෙයක් තිබුණේ නැත. ලන්ඩන් නගරයේ අධ්‍යාපන නිලධාරීහු එය ගැන අවධානය යොමු කළේය. ගුරුවරු හිගයක් තිබිණි. එයට විකල්පයක් ලෙස කැමැති අය පුහුණු කර ගුරු වෘත්තියට බදවාගෙන තිබේ. එය අලූත් අදහසකි. කාර්ය භාරයක් නැති පසුබිමක ජීවත් වූ දස දහස් ගණනක් නව බලාපොරොත්තු වලින් පිබිදී ඇත. අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ද එය බලවත් පිටිවහලක් වී තිබේ.

ඇතැම් විශ‍්‍රාමිකයන් සේවය කළේ බැංකුවකය. නීති ක්ෂේත‍්‍රයේ, විදේශ කටයුතු අංශයේ හෝ පුද්ගලික සමාගම් වලය. තරුණ කාලයේ එම නිලධාරීන්ට ධනය ප‍්‍රශ්නයක් වූයේ නැත. බලය හා සමාජ පිලිගැනීමක් තිබිණි. නමුත් විශ‍්‍රාම ගිය පසු ඉතිරිවූයේ අත්දැකීම් පමණකි. ගුරු පුහුණුව සමග අලූත් පැත්තකට යොමු වෙයි. පසුගිය වසරේ විශ‍්‍රාමිකව කාලය ගත කළ අයගෙන් තිස් පන්දහසක් ගුරු පුහුණුවට බඳවා ගත් බව ලන්ඩන් නගරයෙන් ලැබෙන වාර්තා දක්වයි. මෙම අයගෙන් සිය දෙනෙකු අවරුදු පනස් පහ ඉක්මවූ අය වන අතර අනෙක් සියළුම දෙනා පනහ පිරෙන්නට ආසන්න මැදි වයසේ අයයි. බි‍්‍රතාන්‍ය පාසල් වල ගණිතය, විද්‍යාව හා භාෂාව ඉගැන්වීමේ ගුරු හිඟයක් තිබිණි. එය ආවරණය කරගත්තේ ලෝකයේ නොයෙක් රටවලින් කැඳවන වෘත්තිකයන්ගෙන්ය. විශ‍්‍රාමික පුරවැසියන් එකී හිස් තැන පිරවීම සාර්ථක අත්දැකීමක් බවට පත් ව තිබේ.

එකිනෙකට වෙනස් වෘත්තීය අංශ වල සේවය කර තිබුණ මෙම පිරිස පුහුණුවෙන් පසු පාසල් වලට අනුයුක්තවන දිනයේ දී ශිෂ්‍යයන්ට නුපුරුදු වෙනසක් දැනෙන්නට ඇති නමුත් සාර්ථකය අභියෝගයට මුහුණ දෙන්නට මෙම විශ‍්‍රාමිකයන් සමත් වූ බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය පසුව වාර්තා කළේය.

පාසල් වල පවතින ගුරු හිඟයට පමණක් නොව විශ‍්‍රාමික ජන කොටස අතරින් යම් පිරිසකට නැවතත් අපහසුවකින් තොරව ජීවත්වීමේ මානසික ශක්තිය ඇති කරගන්නට ද මෙම වැඩ සටහන ප‍්‍රයෝජනවත් වන්නට ඇති බව නිසැකය. සමාජයේ ඉහළ තල නියෝජනය කරන ලද අයට නැවතත් දරුවන් ඇසුරට පැමිණ කටයුතු කරන දර්ශනය ද එහි ගැබ්ව තිබේ. ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා පසුගියදා තාක්ෂණික විදුහලක පන්ති කාමරයක ගොස් සිසුන්ට ඉගැන්වීමේ නිරත විය. එය තවත් අනෙක් උදාහරණයකි.

අප රටට ද විශ‍්‍රාම ජන කොටස ගැන ප‍්‍රශ්නයක් තිබේ. ඉදිරි දශකට තුළ වැඩ කරන ජනතාවට වඩා යැපෙන ජන කොටස ඉහළ යන පසු බිම තුළ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගැටළු සහගත විය හැකි බව පර්යේෂණ වාර්තා දැනටමත් අනාවරණය කර ඇත. මෙරට පාසල් වල ද ගුරු හිඟයක් තිබේ. විශේෂයෙන් නගරයෙන් දුර බැහැර ප‍්‍රදේශවල අවධානයට නොගැනෙන පාසල් වල දරුවන්ට විෂය හදාරන්නට ගුරුවරුන් නැත. ඒකී පාසල් වලට පත් කරන තරුණ ගුරුවරු හැකි ඉක්මනින් ස්ථාන මාරුවීම් හදාගෙන නගරබද ප‍්‍රදේශ වලට යති. එය සාමාන්‍යයෙන් සිදුවන දෙයයි. ගුරු හිඟය සම්පූර්ණයෙන් දුරු කිරීම කළ නොහැකි කාර්යයක් වී ඇත.

එවැනි පසුබිමක දී බි‍්‍රතාන්‍ය අත්හදා බැලීම ශ‍්‍රී ලංකාවට ගැලපෙන්නේ දැයි අධ්‍යයනය කිරීම සුදුසුය. ගුරුවරුන් හිඟ පාසල් සහිත ප‍්‍රදේශවල විශ‍්‍රාමික පිරිස ගැන තොරතුරු එකතු කර සුදුසු අය තාවකාලික පදනමකින් කෙලින්ම විදුහලේ සේවයට එකතු කරගත හැකි අතර ඔවුන් ගණිතය, විද්‍යාව සහ භාෂාව කෙසේ වෙතත් විෂය බාහිර ක‍්‍රියාකාරකම් වලට හෝ යොදවාගත හැකි නම් පවතින අධ්‍යාපන තරගය හමුවේ දරුවන් මුහුණ දෙන ගැටළු යම් ආකාරයකින් විසඳාගත හැකිය.